
හිසේ තුවාල සහිතව මරණයට පත් වූ තරුණයකුගේ සිරුරක් මීරිගම විජයරජදහන සහ මීරිගම දුම්රිය ස්ථාන අතර තිළිණගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී ඊයේ (27) උදේ සොයා ගත් බව මීරිගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීරිගම, විල්වත්ත බෝගහහේන පාර, පදිංචිව සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කළ චන්දිම ලක්මාල් පෙරේරා නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයා බව හඳුනාගෙන තිබේ.
මියගිය තරුණයා පෙරේදා (26) දහවල් දානමය පින්කමකට සහභාගි වී ඇති බවත් පස්වරුවේ සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බවත් ඔහුගේ පියා පැවසූ බව පොලිසිය සඳහන් කරයි.
මියගිය අය කොට කලිසමක් සහ ටීෂර්ට් එකක් පමණක් ඇඳ සිට ඇත. රාත්‍රී කාලයේ ඔහු ගමන් කළ ස්ථානයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි පොලිසිය පවසයි.
මියගිය තරුණයාගේ මළ සිරුර හමු වී තිබුණේ ඔහු පදිංචිව සිටි නිෙවසේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරිනි.
මීරිගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා සහ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂන නිලධාරීහු මළ සිරුර හමු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කළහ.
දුම්රියේ ගමන් කරමින් සිටියදී දුම්රියෙන් වැටී මෙම මරණය සිදු වූවාද නැතහොත් වෙනත් කිසියම් අපරාධ සිද්ධියක ප්‍රතිඵලයක් ද යන්න හෙළි කර ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
මීරිගම පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval