kuliyapitiya-youth-murder

කුලියාපිටියේ තරුණයා අතුරුදන් කිරීම හා ඔහු ඝාතනය කර කැලයක තිබී හමුවීමේ කතාව මේ වනවිට වෙනස් මුහුණුවරකට හැරී තිබේ.
මාධ්‍ය වාර්තා අනුව පෙම්වතිය බලන්නට ගිය ‘අහිංසක‘ තරුණයකු ඝාතනය කර තිබේ. නමුත් පෙම්වතියගේ පියා ලෙස සැලකෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති‘ ට අනුව මෙම ඝාතනය සිදුවන්නේ පිය සෙනෙහසේ නාමයෙනි.
තමන්ගේ දියණියට වයස 17 ක් බවත් ඇය දැන් ගැබිණියක බවත් පොලිසියට පවසා ඇති සිඟිති දියණිය ගැබිණියක් බවට පත් කරන ලද්දේ මියගිය 31 හැවිරිදි තරුණයා බවද පවසා තිබෙයි.


තමාට මුලින් අවශ්‍ය වූයේ ඔහු ඝාතනය කරන්නට නොව ඔහු දියණියගේ ලැබෙන්නට සිටින දරුවාගේ පියා වන බැවින් ඔහුව දියණියට විවාහ කරදෙන්නට බවත් මේ ගැන සාකච්ඡා කිරීමට තමා ඔහුව ගෙන්වා ගත් අවස්ථාවේ ඔහු දිගින් දිගටම දියණිය භාරගැනීම ප්‍රතික්ෂේප කළ නිසා අවසානයේ ඇතිවූ ආරවුල ඝාතනයක් දක්වා දුරදිග ගිය බවය.
ඊයේ අධිකරණයේදී ඇප අහිමිව නැවත රක්ෂිත බන්ධනාගාරයට ගිය සිඟිති හා ඔහුගේ බිරිය බන්ධනාගාරය වෙත යමින් සිටියදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේ, තම දියණිය 52 වතාවක් අපයෝජනය කළත්, මාධ්‍ය ඒ බැව් කතා නොකරන්නේ ඇයිදැයි යනුවෙනි. තමාගේ නිවස පුලුස්සා ඇති බව හා තම දියණියට සිදුව තිබූ තත්ත්වයද හෙළි කළයුතු බව සිගිති එහිදී පැවසීය. සිඟිති වැඩිදුරටත් කියා සිටියේ තමා ගැන පමණක් මාධ්‍යයේ කතා නොකොට තමන්ට ඇතිවූ ප්‍රශ්නත් පළ කරන ලෙසයි.



 අත්අඩංගුවේ පසුවන පෙම්වතියගේ මාමාගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී තරුණයා මරා
දැමීමට හේතු වූ කරුණක් පිළිබඳව මින් පෙර අනාවරණය කර තිබේ.
ඔහු පවසා ඇත්තේ, පෙම්වතියගේ පියා වන සිඟිති තරුණයාව නිවසට ගෙන්වාගෙන තම
දියණිය ගැබිනියක් වීම සම්බන්ධව ප්‍රශ්න කළ බවත් දියණියව විවාහ කරගෙන දරුවා භාර ගතයුතු බවට
තර්ජනය කළ බවත්‍ ය, නමුත් තරුණයා දරුවා තමාගේ නොවන බවත් දියණිය විවාහ
කරගැනීමට නොහැකි බවත් පවසා ඇත.
ඊට උරණ වූ දියණියගේ පියා, තරුණයාට පහර කිහිපයක් එල්ල කර ඔහුව ගැටගසා දියණියව භාර
ගන්නා ලෙස නැවත නැවත බලකර පැවසූ බවත් මියගිය තරුණයා කිසිවකට එකඟ නොවීම මත මෝටර් රථයක නංවාගෙන ගොස් එහිදීද අවසන් වරටත් දියණිය භාර ගන්නා ලෙස ඉල්ලා ඊටත්
එකඟ නොවීම මත අවසානයේදී පහරදී දෑත් බැඳ තිබුණු ලණුවෙන්ම ගෙල සිර කර මරා දැමූ බව හෙළි කර ඇත.



මෙසේ මියගිය කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයා මිය යනවිට 31 හැවිරිදි වියේ පසුවූ අතර තරුණයා මින් පෙර විවාහ වී සිටි අයෙකු බවත් මේ
වනවිට එම විවාහය අතහැර දමා සිටින බවත් වාර්තා වේ, එමෙන්ම ඔහු තවත් තරුණියක ඇසුරු කර ඇයද
ගැබිනියක් වූ පසු ගබ්සාවකට ලක්කර ඇති බවටද ආරංචියක් පවතී.

මේ අතර ඝාතනයට ලක් වූ සුසිත් ජයවංශ නැමැත්තා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ යැයි කියන 17 හැවිරිදි තරුණිය සිටින ප්‍රදේශයක් ගැන තවම තොරතුරු හෙළි වී නොමැති බව ද පොලිසිය සඳහන් කරයි.ගැබිනියක වී ඇතැයි කියන ඇය සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.මෙම දාහත් හැවිරිදි තරුණිය සමග ඇයගේ බාලවයස්කාර සහෝදරයන් දෙදෙනාද තවම පොලිසියට හමුවී නැත.