katunayake-vfs-global

 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ශ්‍රී ලංකාවට පැමිණෙන අයට වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ (01) උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

මෙම තත්ත්වය ඇතිවුයේ මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ (01) පස්වරු 5.00 සිට ඉන්දීය පෞද්ගලික සමාගමක් වන  VFS Global වෙත පැවරීම නිසාය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි.



එමගින් සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක විසා ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 20ක මුදලකුත් අනෙක් රටවල සඳහා ඩොලර් 50ක මුදලක් අයකරනු ලැබීය.

මෙම ආදායම සම්පූර්ණයෙන්ම මෙරටට හිමිවු අතර ඉතා කෙටි කාලයක් තුළ ON ARRIVAL VISA පහසුකම සංචාරකයින් වෙත ලබාදීමටද  පහසුකම් සලසා තිබුණි.

එවන් පසුබිමක මීට දෙදිනකට පෙර රජය තීරණය කර තිබුණේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තෙවන පාර්ශ්වයකට ලබාදීමටය.VFS Global වෙත  එය ලැබුනේ ඒ අනුවයි.

ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙතෙක් අය නොකරනු ලැබු සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක්ද මෙම ඉන්දීය සමාගම හරහා වීසා ලබාදීමේදී අයකරනු ලබන බව වාර්තා වෙයි.



එහිදී සාක් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් අමෙරිකානු ඩොලර් 22ක මුදලක්ද වෙනත් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් ඩොලර් 25ක මුදලක්ද  අය කෙරෙයි.

එමෙන්ම මින්පෙර මෙරටට පැමිණීමේදී වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබූ ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් 7ක සංචාරකයින්ගෙන්ද මෙම සමාගම අමෙරිකානු ඩොලර් 22ක මුදලක් අයකරනු ලබන බවද වාර්තා විය.

මෙවන් පසුබිමක, අදාළ සමාගම මගින් වීසා නිකුත් කිරීම පමාවීම  හේතුවෙන් ඊයේ  සංචාරකයින් විශාල පිරිසකට පෝළිම්වල පැය ගණනක් රැඳීසිටීමට සිදුවී තිබුණි.
උණුසුම් තත්වයක් පැනනැගුනේ මෙම ගැටලු නිසාය.