ranjith-siyambalapitiya

 මත්පැන් බලපත්‍ර (බාර් පර්මිට්) 214 ක් අලුතින් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පිළිගත්තේය.මින් බලපත්‍ර 147 ක්ම දී ඇත්තේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් බව ද ඔහු සඳහන් කළේය.රට පුරා දැනට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව 5730 ක් බව පැවැසූ රාජ්‍ය අමාත්‍යවරයා වර්ග තිහක් යටතේ මෙම බලපත්‍ර නිකුත් කර ඇති බව ද සඳහන් කළේය.





පසුගිය 2023 වර්ෂයේ ජනවාරි 1 වැනිදා වන විට රටේ පැවැති මුළු මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව 5516 ක් බවත් මේ වසරේ මේ වන විට පවතින මුළු බලපත්‍ර සංඛ්‍යාව 5730 ක් බවත් ඔහු ප්‍රකාශ කළේය.රටේ මත්පැන් භාවිතය සියයට 19 කින් පමණ පහත බැස ඇති බව පැවැසූ සියඹලාපිටිය මහතා ගල් අරක්කු භාවිතය සියයට තිස් අටකින් පහළ ගොස් ඇතැයි ද ප්‍රකාශ කළේය. මධ්‍යම පන්තියේ ජනතාව වැඩි වශයෙන් භාවිත කරන කාලේ බෝතල් පාවිච්චිය ද සියයට දාහතරකින් අඩු වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

 අංජුල මහික වීරරත්න