A-temporary-ban-on-the-President-to-appoint-Supreme-Court-judges-except-the-Chief-Justice

අගවිනිසුරු ධුරය හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුරවලට විනිසුරුවරුන් පත් කිරීම හෝ එම ධුර සඳහා ව්‍යවස්ථාදායක සභාවට නම් යෝජනා ඉදිරිපත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (අප්‍රේල් 30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.



එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් හා ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.



අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට පත් කිරීමට කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව ක්‍රියා නොකිරීම අභියෝගයට ලක් කරමින් නීතිඥ සරත් පතිරත්න මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ ය.

එම පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබා දෙන තුරු එම නියෝගය ක්‍රියාත්මක විය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම විය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අගවිනිසුරුවරයා නිර්දේශ ඉදිරිපත් කර තිබියදී එම නිර්දේශ අනුව කටයුතු නොකිරීමෙන් කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා නීතිඥ සරිත් මහිපුත්‍ර පතිරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.



එම පෙත්සම පිළිබඳව සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර පෙත්සම් විභාගය ලබන ඔක්තෝබර් මස 4 වන දින ආරම්භ කිරීමටද දින නියම කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින විනිසුරු ධුරයක් සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා පත් කරන ලෙසට ජනාධිපතිවරයා හා අගවිනිසුරුවරයා නිර්දේශ කර ඇත්තේ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගේ ජේ‍යෂ්ඨත්වය මෙන්ම ඔහුගේ සෙසු සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව බව ද පෙත්සම්කාර නීතිඥවරයා සිය පෙත්සම මඟින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ජනාධිපතිවරයා හා අගවිනිසුරුවරයා කර තිබූ එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමෙන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව අධිකරණයේ ස්වාධීනත්වයට යම් බලපෑමක් කර ඇති බව පෙනී යන බවද නීතිඥවරයා සිය පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.



එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව නම් කර තිබූ අතර එහිදී නීතිපතිවරයා, කථානායකවරයා, අගමැතිවරයා, වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියේ ය.