sinhala-avurudu-bus-2024

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල සඳහා ගම්බිම් බලා කොළඹින් පිටත් වන පිරිස ලක්ෂ 13ක් වැනි විශාල අගයක් ගනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවාය.

මෙසේ පිටත්වන මගී ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද ජයවර්ධන මහත්මිය කීවාය.



මේ යටතේ පුත්තලම, දඹුල්ල, නුවර, ගාල්ල, හයිලෙවල් මාර්ගය යන දෛනිකව කොළඹින් බස් රථ පිටව යන ප්‍රධාන ප්‍රවේශ මාර්ග පහේ බස් රථ සංඛ්‍යාව ගමන් වාර 700ක් දක්වා වැඩි කර ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවැසුවාය.

හයිලෙවල් පාරේ මාකුඹුර, කඩවත, මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත සිට බස් රථ ගමන් වාර සංඛ්‍යාව වෙනදාට වඩා 150කින් වැඩිකර ඇතැයි ද ඒ මහත්මිය සඳහන් කළාය.

එසේම බැස්ටියන් මාවත බස් නැවතුමට පැමිණෙන ආබාධ සහිත පිරිස් හා කිරිදෙන මවුවරුන් ඇතුළු මගීන්ගේ පහසුව තකා ජලය හා ප්‍රථමාධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන්නේ යැයි  ඇය පැවැසුවාය.

මගීන්ට මෙම සේවා සපයා ගැනීමේදී සිදුවන දුෂ්කරතා සම්බන්ධයෙන් 0712595555 යන අංකයට වට්ස්ඇප් පණිවුඩ මඟින් පැමිණිලි කළ හැකි බව ද ජයවර්ධන මහත්මිය කීවාය.

මෙයට අමතරව දුම්රිය -1971,  ප්‍රවාහන කොමිසම -1955,

ලංගම- 1958 යන ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ මෙම සේවා සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

විශේෂ දුම්රිය වැඩපිළිවෙළ යටතේ අපේ්්‍රල් 10, 11, 12, 14, 15 දිනවල පස්වරු 7.30ට කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රියක් පසුදින අලුයම 4.55ට බදුල්ලට ළඟා වන අතර එම දිනවලම පස්වරු 5.20ට බදුල්ලෙන් ගමන් අරඹන දුම්රියක් පසුදින අලුයම 3.52ට කොළඹ කොටුවට ළඟාවේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ 11, 12, 13, 14 හා 15 යන දිනවල මරදානෙන් පස්වරු 3.40ට ගමන් අරඹන දුම්රිය පස්වරු 7.30ට බෙලිඅත්තට ළඟා වේ.

මේ අතර කොළඹ කොටුවේ සිට ගාල්ල බලා 10 වැනිදා සිට 14 වැනිදා දක්වා විශේෂ දුම්රියක් ධාවනය වන අතර එය පස්වරු 7.25ට ගමන් අරඹා පස්වරු 9.33ට ගමනාන්තයට ළඟා වේ.

තවත් දුම්රියක් 11, 12 හා 13 යන තෙදින මරදානෙන් පස්වරු 1.20ට ගමන් අරඹා පස්වරු 3.50ට ගාල්ලට ළඟා වේ.

මාතර සිට බෙලිඅත්තට 11, 12, 13, 14 හා 15 යන දිනවල පස්වරු 6.55ට ගමන් අරඹන දුම්රියක් පස්වරු 7.30ට බෙලිඅත්තට ළඟා වේ.

එම දිනවලම බෙලිඅත්තෙන් පස්වරු 7.00ට ගමන් අරඹන දුම්රිය පස්වරු 7.31ට මාතරට ළඟා වේ.

එසේම 11, 12 හා 13 යන තෙදින බෙලිඅත්තෙන් පෙරවරු 8.10ට ගමන් අරඹන දුම්රිය දවල් 12.19ට මරදානට ළඟා වේ.

ගාල්ලෙන් 11 හා 15 දෙදින උදේ 6.15ට පිටත් වන දුම්රියක් කොළඹ කොටුවට උදේ 8.23ට ළඟාවීමට නියමිතය.

රවිශාන් ප්‍රනාන්දු