senaka-batagoda-song-banned-7
අද (2) දින කොළඹ වාණිජ මහාධිකරණය විසින් ප්‍රකට ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට එරෙහිව ඔහුගේ ගීත 7 ක් ගායනා කිරිම වළක්වාලමින් වාරණ ආඥාවක් නිකුත් කරනු ලැබීය. බුද්ධිමය දේපළ පනත යටතේ  සංගීතඥ ජනත් කුලතිලක විසින් යොමු කළ නඩුවක් නිසා මෙම තීන්දුව ලැබිණි.

‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ යන ගීත
හත මෙම වාරණයට අදාළ වන අතර සේනක බටගොඩ ගයන හොඳම ගී හතක් එලෙස වාරණයට ලක්ව ඇත්තේ ඔහු සමග නිර්මාණකරණයේ යෙදුණ ශිල්පියා නොසලකා හැරීම සම්බන්ධ අධිකරණ අවධානය යොමුවූ නිසාය.
සේනක බටගොඩ මෙකී ගීත පද රචනය, තනුව සංගීතය හා ගායනය තමන්ගේ ලෙස හුවා දක්වමින් අවභාවිත කර ඇති බව සංගීතඥ ජනත් කුලතිලක පෙන්වා දෙයි.


මේ හේතුවෙන් එම ගීත ගායනා කර ඇති සියලුම අවස්ථාවන්හි ලැබිය යුතු වාසි සියල්ල තමන් අත්පත්කරගෙන ඇති බව ඔහු කියයි.
වාර්තා කර ඇති පරිදි එම ගීත වල ඒකාබද්ධ පද රචනය සිදුකර ඇත්තේ සේනක හා ජනත්ය.
තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කර ඇත්තේද සංගීතඥ ජනත් කුලතිලකය.
සේනක බටගොඩ තමන්ට නිසි කර්තෘ භාගය ලබානොදීම නිසා ඔහුට එරෙහිව නඩුව ගොනු කර ඇත.

සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම වාරණ නියෝගය සේනක බටගොඩ මහතාට එරෙහිව නිකුත් කර ඇත.



තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද ගරු මහාධිකරණය විසින් වාරණය කරන ලදි.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ මහතා විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.

නැවත මෙම නඩුව 2024/4/16 දිනැතිව කැදවීමට  වානිජ මහාධිකරණය නියෝග කර ඇත.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ තිලිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටියේය.
 කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) මෙම වාරණ නිකුත් කළේය.