russia-ukraine-issue-in-south

රුසියානු සහ යුක්රේන ජාතිකයන් දකුණු පළාතේ සංචාරක වීසා මත රැඳීසිටිමින් විවිධ ව්‍යාපාර කිරීම නිසා භායානක තත්ත්වයකට පත්විය හැකි බව රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාවේදී (කෝපා) අනාවරණය විය.කෝපා කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබද අනාවරණය විය.


ඒ අනුව මෙම සතියේ දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ දකුණු පළාතේ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් සමග එක්ව සාකච්ඡාවක් පවත්වා මෙම කටයුත්ත වැළැක්වීමට කඩිනමින් කටයුතු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හරි ඉලුක්පිටිය මහතා කාරක සභාව හමුවේ සදහන් කළේය.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් කාරක සභාවේදී මෙම කරුණ මතු කරනු ලැබුවාය.




සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ - රුසියානුවන් ත්‍රිරෝද රථ පවා ඩිලිවරි කරනවා දකුණු පළාතේ. මම වැලිගමට ගිය වෙලාවේ සෆින් ක්ලබ්, සරිෆින් ස්කූල්, රෙස්ටුරන්ට්ස්, හෝටල්, කෑම ඩිලිවරි රුසියානුවන් සහ යුක්රේන ජාතිකයන් ඇවිල්ලා බිස්නස් කරනවා. අපේ රටේ අයට මට කිව්වා මේකට විසඳුමක් දුන්නේ නැත්නම් මේකෙන් අන්තිමට වෙන්නේ කිසිදු සංචාරකයෙක් රටට එන්නේ නෑ කියලා. මොකද මේ අයගේ මිනී මුහුදේ පාවෙන තත්ත්වයට එයි කියලා කියනවා. ඒ කියන්නේ එතරම් දරුණු තත්ත්වයකට මේක යනවා.


අපිට විසිට් වීසාවලට වෙන රටකට ගිහින් බිස්නස් තියා වෙන මොනවත් කරන්න බෑ. මේක අපි අධීක්ෂණ කණ්ඩායමක් හරි දාලා අනිවාර්යෙන්ම විසිට් වීසාවලට මේ රටට එන අයට බිස්නස් කරන්න බෑ කියන එක අපි තරයේම මේ රටට කියනවානේ. නමුත් මේක පිළිපදින්නේ නෑ. දැන් මට ආරංචියි ඊශ්‍රායලවල අයත් දකුණු පළාතේ මේක පටන් අරගෙන තියෙනවා.

මේ අය මේක කරන ක්‍රමයක් තියෙනවා.


මේ අය අපේ ලෝකල් අය අල්ල ගන්නවා. එහෙම කරලා හොටෙල් , රූම්ස් හරි ගන්නවා ලීසිංවලට. ලෝකල් නමකින් ගන්නේ. අරගෙන මේ අය තමයි බිස්නස් කරන්නේ. ලෝකල් කෙනාට ගෙවනවා පොඩි ගානක්. අපි ඒ සෑම ලෝක කෙනාවම ලුහුබදින්න ඕනෑ. එහෙම කරලා ඔවුන් අරගෙන මේ වැඩේ නීති විරෝධියි කියලා පෙන්වාදී ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. අනිත් එක අපි මේ ගැන මේ අයගේ තානාපතිවරුන් එක්ක කතා කරන්න ඕනෑ. මේක ඇල්ලටත් බෝ වීගෙන යනවා. අධීක්ෂණ කණ්ඩායමක් හරි දාලා මේක පාලනය කරන්නම වෙනවා.


මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක - අපේ දැනටම හොද වැඩපිළිවෙළක් තියෙනවා.


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම ගිහින් මේ ගැන විමරිශනය කරලා සමහර වෙලාවලදී රටින් බැහැර කරනවා අපි.




කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ -මේ ගැන දුරකථන අංකයක් හඳුන්වාදෙන්න. පැමිණිලි කරන්න ස්ථානයක් නිර්මාණය කරන්න.


ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය - මේක සිදු වුණේ යුක්රේන - රුසියා යුද්ධයත් එක්ක ලංකාවට පැමිණි අයට අපි අවුරුදු 2ක් අපි නොමිලේ විසා දුන්නා. ඒක ඉවර වුණේ පසුගිය පෙබරවාරි 22වැනිදා. ඒ වගේම අපි දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් එක්ක මේ සතියේ අපි සාකච්ඡාවක් දාගෙන තියෙනවා. ඒකෙදි අපි පොලීසි ටිකත් එකතු කරගෙන කඩිනමින් අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.

දිනේෂ් සමරකෝන්