police-team-vip

ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්ත නිලධාරීන් අතුරින් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සදහා යොදවා ඇති මුළු නිලධාරීන් සංඛ්‍යාව 11,205ක් බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති , පාරිලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 'ශ්‍රී ලංකා පොලීසිය වඩාත් කාර්යක්ෂම, මිත්‍රශීලී, ප්‍රශස්ත, ජනතා හිතවාදී, විවෘත හා වගකිව යුතු රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සදහා වූ නිර්දේශ' ඇතුළත් වාර්තාවේ මේ බව සදහන් කර ඇත.



ඒ අනුව පුභූ ආරක්ෂාවේ නිරත පොලිස් නිලධාරීන්ගේ වගකීම හා කාරිය භාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව විසින් කඩිනම් පුහුණු වැඩසටහනක් සම්පාදනය කළ යුතු බවට කාරක සභා වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.මෙලෙස වාරිතා වූ තොරතුරු අනුව ප්‍රාදේශීය පොලිස් ස්ථාන මඟින් පොලිස් නිලධාරීන් 5,380ක්ද, ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය මඟින් පොලිස් නිලධාරීන් 4,484ක්ද, විශේෂ කාරිය බළකා නිලකාරින් 1,341ක්ද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

මේ අතර වර්තමානය වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් 90,000කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.

එම පිරිස අතර පොලිස් විශේෂ කාරිය බළකා නිලධාරීන් 9,000ට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පොලිස් මාධය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
දිනේෂ් සමරකෝන්