
ඩුබායි හි පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා තුන්පිම්ම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි හේරත් සමත් වූවාය. ඇය අවසන් පිම්ම මීටර් 13.01ක් දක්වා දෙවැනි ස්ථානයට පත්වූවා පමණක් නොව පුද්ගලික හොඳම වාර්තාවක් ද ලබා ගත්තාය.
බිබිල - මොණරාගල නියෝජනය කරන නෙත්මිකා තරගාවලියේ ශ්‍රී ලංකා කන්ඩායමේ නායිකාවයි.
ඇයගේ විශිෂ්ට දස්කම් මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළ කලක් කථාබහට ලක්විය.
ඇය අද (25) දිනයේ කාන්තා දුර පැනීමේ ඉසව්වට ද සහභාගී වන්නීය.
නෙත්මිකා මුලින්ම අධ්‍යාපනය ලැබුවේ බිබිල ප්‍රදේශයේ ඈත මැදගම ප්‍රදේශයේ පිහිටි පාසලක් වන යකුන්නාව කනිෂ්ඨ විද්‍යාලයේය. ප්‍රාදේශීය කලාප තරගවලදී ඇය දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසා ඇය නන්නපුරව ම.වි. වෙත ඇතුළත් කිරීමට දෙමාපියන්ට හැකි විය.
දැරියන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා වන නෙත්මිකා විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් වන තම වැඩිමහල් සොයුරියන් දෙදෙනා මෙන් උසස් අධ්‍යාපනය කරගෙන යාමට කැමැත්තක් දක්වයි. මේ වන විට ඇයගේ ගොවි මව්පියන් ඇයට අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන්ද අවශ්‍ය සහයෝගය ලබාදී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval