may-day-celebration-budget

ප්‍රධාන දේශපාලන පක්ෂ ඒවාට තිබෙන ජනතා බලය පෙන්වීමට මැයි දින රැලි සඳහා උපරිම වශයෙන් පාක්ෂිකයන් සහභාගි කර ගැනීමට කටයුතු කිරීම තුළ එම ජනතාව කොළඹට ගෙන ඒම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් රුපියල් මිලියන දහසක පමණ වැයක් දරනු ඇතැයි ඒ පිළිබඳව කෙරෙන ගණනය කිරීමකින් අනාවරණය විය.

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රධාන දේශපාලන පක්ෂවලට මෙවර මැයි දින රැලිවලින් තම උපරිම දේශපාලන ශක්තිය පෙන්නුම් කිරීම සඳහා මෙතරම් විශාල වැයක් මැයි දිනය වෙනුවෙන් දැරීමට සිදුවී ඇත.



මෙතරම් විශාල මුදලක් වැය වනුයේ මැයි රැලිවලට සහභාගි කරවන තම පාක්ෂිකයන්ගේ ගමන් පහසුකම් සැපයීම සඳහා යොදා ගන්නා බස් රථ සඳහා සහ ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ලබා දීම වෙනුවෙනි.

මෙම මුදලට අමතරව බැනර්, පෝස්ටර්, කටවුට් සැරසිලිවලට හා මැයි රැලිය පැවැත්වෙන ස්ථානවල ඉදිකෙරෙන වේදිකා, ශබ්ද විකාශන යන්ත්‍ර ආදී කටයුතු වෙනුවෙන් තවත් ලක්ෂ ගණනක වැය බරක් ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් දරනු ඇතැයි එම ගණනය කිරීම්වලින් හෙළිදරව් වේ.

වැඩි ම සෙනඟක් හා බස් රථ ප්‍රමාණයක් කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවලින් කොළඹට පැමිණෙන බවත් කොළඹට ආසන්න එම දිස්ත්‍රික්කවල එක් මැතිවරණ කොට්ඨාසයකින් එක් ප්‍රධාන දේශපාලන පක්ෂයක් විසින් බස් රථ 25කට වැඩි සංඛ්‍යාවක් ද, පිට පළාත්වල එක් මැතිවරණ කොට්ඨාසයකින් බස් රථ 10ක් 15ක් ජනතාව රැගෙන ඒමට යොදා ගන්නා බව ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රකාශකයෝ සඳහන් කළහ.



බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්කවල සිට පැමිණෙන බස් රථ සඳහා එක් බස් රථයකට රුපියල් 30,000ක් 35,000ක මුදලක් ගෙවීමටත් අනුරාධපුර වැනි දුර ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන බස් රථයකට රුපියල් 1,50,000ක් වැනි මුදලක් ගෙවීමටත් සිදුවන බව ද, එක් අයකු වෙනුවෙන් දිවා ආහාරය සඳහා රුපියල් 300ත් 450ත් අතර මුදලක් වැය වනු ඇති බව ද ඔවුහු පැවසූහ.

මේ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවන බැවින් ආසන සංවිධායකයෝ ව්‍යාපාරිකයන්ගෙන් හා දානපතියන්ගෙන් මුදල් සොයා ගැනීමේ උත්සාහයක යෙදී සිටිති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය යන ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ට අමතරව උත්තර ලංකා සභාගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන පක්ෂ සිය මැයි රැලි කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.



ජාතික ජන බලවේගය කොළඹට අමතරව මාතර, යාපනය හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ද මැයි රැලි පවත්වනු ඇත. සමගි ජන බලවේගය මැයි රැලියට ලක්ෂයක් සහභාගි කරවන බව ප්‍රකාශ කරන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, 2017 වසරේදී ගාලු මුව‍ෙදාර පැවැති මැයි රැලියට නොදෙවැනි අන්දමේ මැයි රැලියක් පවත්වන බවත් එම පක්ෂය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පැරණි ප්‍රධාන දේශපාලන පක්ෂය වුවත් වර්තමානයේ පැනනැඟී තිබෙන අර්බුදයත් සමග පාර්ශ්වයන් දෙකක් ලෙස වෙන වෙන ම කොළඹ හා ගම්පහ ප්‍රදේශවල මැයි දින සැමරුම් පැවැත්වෙන බව එම දෙපාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    අනුර බාලසූරිය, සවනි ශේශාධි