floating-market-colombo

කොළඹ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය (Floating market) ඉදිරිපස තිබු කඩ 20ක් පෙරේදා(16දා) රාත්‍රියේදී කොළඹ මඟ නගර සභා බලධාරීන් හා නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් විසින් බලහත් කාර්යයන් ඉවත්කරන ලද බව වෙළෙඳ සැල් හිමියෝ සඳහන් කරති.මෙම කඩ තුළ අලෙවි කිරීමට රැගෙන ආ භාණ්ඩ පවා තිබූ බවත්, රාත්‍රී කාලයේදී ක්ෂණිකව ඉවත් කිරීම නිසා අලෙවි කිරීමට රැගෙත ආ භාණ්ඩ පවා ඉවත් කර ගැනීමට නොහැකි වූ බවත් එම පිරිස් පෙන්වා දෙති.

දීර්ඝ කාලයක සිට අදාළ ස්ථානයේ සිටිමින් ජනතාවට භාණ්ඩ අලෙවි කිරීම සිදුකළ බවත්, මේ නිසා අදාළ භාණ්ඩවල අලාභය ලබා දී අලෙවි සැල් පවත්වාගෙන යාමට විකල්ප ස්ථාන ලබාදෙන ලෙසත් එම පිරිස් ඉල්ලා සිටිති. කොළඹ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය වැඩි දියුණු කර පවත්වාගෙන යාම සඳහා ජපන් අයෝජකයෙකු ඉදිරිපත් වී තිබෙන අතර මීට අදාළව මූලික අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර තිබෙන බව වාර්තා වේ.

මෙම කඩ ඉවත් කිරීමේ කටයුතු කොළඹ මහ නගර සභාව විසින් සිදු කළ බව අප කළ විමසීමකදී නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසුවේය. ඉවත් කිරීමේ කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරීය සහාය දැක්වූ බව ද එම ප්‍රකාශකයා කීවේය. එලෙස අනවසරයෙන් ඉදිකර ඇති කඩ ඉවත් කරන ලෙස පසුගිය ජනවාරි මාසයේ දී ලිඛිතව දැනුම් දී ඇති බවත්, කඩ ඉවත් කර ගැනීම සඳහා දින 14ක කාලයක් ලබාදී තිබූ බවත් හෙතෙම සදහන් කළේය.

මින් පෙර එම ස්ථානයේ අනවසරයෙන් රැදී සිටි පිරිස ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කළ බවත්, මෙම පිරිස ඉන් පසුව එම ස්ථානයට පැමිණි පිරිසක් බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. මෙම අනවසර ඉදිකිරීම් කරඇති කලාපය කොළඹ මහ නගර සභාවට අයත් කොටසක් බවත්, මෙවැනි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා කොළඹ මහ නගර සභාවට අධිකරණ නියෝග ලබාගැනීම අවශ්‍ය නොවන බවත් නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කළේය.අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නීතිමය ක්‍රියාවලිය කොළඹ මඟ නගර සභාව විසින් සිදු කළ බවත්, නාගරික සංවර්ධන අධිකාරිය ඊට අවශ්‍ය සහාය පමණක් ලබාදුන් බවත් නාගරික සංවර්ධන අධිකාරීය ප්‍රකාශ කළේය.