ebrahim-anura-kumara

පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ල වූ සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඊබ්‍රහිම් සම්බන්ධයෙන් වසර 05ක් ගත වුවද ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ගැනීමට නොහැකි වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ මහතා අතින් දේශකීර්ති සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයකු බව ඊයේ(25දා) පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.




"ඊබ්‍රහිම් කියන පුද්ගලයා 2015 අපේ ජාතික ලැයිස්තු, නියෝජනය කළා. ඒත් ඔහු 2015 ජාතික ලැයිස්තුව නියෝජනය කිරීමට පෙර අපි ඔහු ආවට ගියාට තෝර ගත්ත පුද්ගලයෙකු නෙවෙයි. ඔහු ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් වෙන්න පෙර ඡායාරූප මං ළඟ තියෙනවා. ජනාධිපති මහින්ද රාප්පක්ෂ මේ ඊබ්‍රහිමි කියන පුද්ගලයාට දේශකීර්ති සම්මානය ලබා දෙනවා. ඔහු හොඳ ව්‍යවසායකයෙක් ලෙස දේශකීර්ති ලෙස ලබා දෙන ලද සම්මානයත්, ඒ පදක්කමත් ඔහුට දෙන්නේ මහින්ද රාප්පක්ෂ මහත්මයා. ඒ අනුව ඔහු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශකීර්ති සම්මානය ලබපු පුද්ගලයෙක්.


2014දී හොදම අපනයනකරුවා කියලා ජී.එල් පීරිස්ගෙන් සම්මාන ගන්නවා. මගේ ළඟ තියෙනවා පී.එල් පීරිස්, රත්නසිරි වික්‍රමනායක ඔහුට සම්මාන ලබා දෙන ඡායාරූපයක්. ඒ වගේම පියසේන ගමගේගේ සම්මානයට පාත්‍ර වෙනවා .

2017දී සුජීව සේනසිංහ කියන ඒ වෙලාවේ ආයෝජප්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මොහු හොද ව්‍යවසායකයෙක් ලෙස සම්මාන ලබා දෙනවා. ඒ තමයි ඊබ්‍රහිම්. ඔහු අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළා.ඒත් මේ ප්‍රහාරයට ඔහුගේ දරුවන් සම්බන්ධ වෙනවා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන මාස 09ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත්, ගෝඨාභය රාප්පක්ෂගේ ආණ්ඩුවත් මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන ප්‍රශ්න කරනවා.


තව අවුරුදු 2ක් රිමාන්ඩ් භාරයේ තියනවා. 2022 මැයි මාසයේදී ඔහු ඇප ලබා නිදහස් වෙනවා. දැන් එළියෙ ඉන්නවා අවුරුදු 2ක්. අඩුම තරමේ මම දැනගන්න කැමතියි ඔහුට නඩුවක් ගොනු කරලා තිබෙනවාද? නඩුවක් ගොනු කරලා තිබෙනවා නම් ඔහුට තිබෙන චෝදතා මොනවාද? අවුරුදු 05ක් ගිහිල්ලත් ඔහුට තවම චෝදනාවක් ගොනු කරන්න බැරි වෙලා තියෙනවා.

ඒ පුද්ගලයා යම් සබඳතාවක් තිබෙනවා නම් දඬුවම් ලබා දිය යුතුයි. අපි මිනිස්සු කවුරුත් කාලා බලලා ගන්නේ නෑ. භාවිතාව බලනවා. ඒ අනුව සම්බන්ධ කර ගන්නවා.වැරුද්දක් විය හැකියි. ප්‍රතිපත්තිය මොකක්ද? වැරුද්දක් වෙනවා නම් තමන්ගේ දේශපාලන බලය යොදාගෙන ආරක්ෂා කිරීම තමයි වැරුද්ද. ආණ්ඩුව තමන්ගේ පැත්තෙන් ඉටුවිය යුතු නිසි පරිදි ක්‍රියාමාර්ගය ඉටු නොකර ඊබුහිමි මන්ත්‍රය මැතිරීමෙන් ඵලක් නෑ.”
දිනේෂ් සමරකෝන්