easter-ntb

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම උදෙසා ජාතික ජන බලවේගය විසින් කරුණු හතකින් යුත් ප්‍රතිඥාවක් නිකුත් කර තිබේ. ලබන 21 වැනිදාට පාස්කු ප්‍රහාරය සිදුවී වසර පහක් සපිරෙනු ඇත.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම පක්ෂය නිවේදනය කරයි.

ජාතික ජන බලවේගය නිකුත් කළ කරුණු හතකින් යුත් ප්‍රතිඥාව මෙසේය.

    පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතීන් අතර අසමගිය නිර්මාණය කොට ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක් වන අතර එකී අපරාධයට සම්බන්ධ මහ මොළකරු සහ සැලසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛ කටයුත්ත වන්නේය,


    පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙරාතුව ඒ පිළිබඳව නිසි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ සහ එම ප්‍රහාරය සම්බන්ධව සිදු කළ විමර්ශන වෙනතකට හරවා, එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමින්, එම ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුතු පාර්ශ්වයන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වූ ආරක්ෂක අංශවල නිලධාරීන් සහ වෙනත් නිලධාරීන් ද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ඊට වගකිවයුතු සෑම දේශපාලන බලධාරියෙක්ම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම,

3.I පාස්කු වින්දිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද,

II. දැනටමත් ජනාධිපති විසින් පත්කරන ලද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවල ඇතුළත් දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද තරාතිරම නොබලා අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරන අතර,



III. අනාගතයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළව පත්කරනු ලැබීමට නියමිත විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ද පදනම් කරගනිමින් ඊට වගකිවයුතු දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ද අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරනු ලැබේ,

    මෙම ප්‍රහාරයට අදාළව දැනට විභාග වෙමින් පවතින නඩු, ප්‍රමුඛතා පදනමක් (Priority Basis) මත හැකි ඉක්මනින් අසා නිමකිරීමට අදාළ අංශවලට ඉල්ලීම් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම,
    මෙම ප්‍රහාරයට සම්බන්ධව මේ වනවිට මෙරටින් පැන ගොස් සිටින සියලුම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සහ මෙම ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න ඔවුන් මාර්ගයෙන් විමර්ශනය කිරීම සහ එසේ අනාවරණය වන සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම.
    මෙම ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ජීවිත සහ දේපළවලට නිසි ආකාරයේ වන්දි ක්‍රමවේදයක් හඳුන්වාදීම, ඔවුන් පත්ව ඇති මානසික ව්‍යාකූලභාවයන්ගෙන් ඔවුන් මුදා ගත හැකි ආකාරයේ මනෝවිද්‍යාත්මක වැඩපිළිවෙළක් හඳුන්වා දීම,
    මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂ කොමිෂන් සභා සහ වෙනත් විමර්ශන මගින් හෙළිකරගත් තොරතුරු පදනම් කරගනිමින් තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු රාශියක් පවතින බැවින්, ඒ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂා කර සත්‍ය විමර්ශනය කරගැනීමට සහ පීඩාවට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉෂ්ට කිරීම අරමුණු කරගනිමින් පූර්ණ අධිකරණ බලැති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කොට එහි නිර්දේශයන් මත ඉතා කෙටි කලක් තුළ, මෙම ප්‍රහාරයන් දියත් කිරීමට කුමන්ත්‍රණය කළ අයවලුන්ට සහ විවිධ අයුරින් ඊට වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ මත දඬුවම් පැමිණවීමත්, කිසිදු පැකිලීමකින් තොරව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් සිදු කරනු ලබන බවත් ශ්‍රී ලාංකේය ජනතාව වෙත මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමු.