chandrasiri-bandara-death-wife-speaks

සිය සැමි­යාට වසර 5ක පමණ සිට අධික රුධිර පීඩ­නය තිබු­ණත් ස්ථිරව බෙහෙත් නොගත් බවත්, ඔහු බෙහෙත් බොන්න ටිකක් කම්මැළි බවත් ප්‍රවීණ ජ්‍යෝති­ර්වේදි චන්ද්‍ර­සිරි බණ්ඩාර මහ­තාගේ බිරිය වන හිනි­දුම ලිය­නගේ චම්පිකා (59) මහ­ත්මිය පැව­සු­වාය.

ඇය මේ බව කියා සිටියේ තල­ව­තු­ගොඩ හෝක­න්දර පාරේ සමඟි මාවත, රොම්ස් ලැන්ඩ්හි අංක 424/01 නිවෙසේ පදිංචි හේරත් මුදි­ය­න්සේ­ලාගේ චන්ද්‍ර­සිරි බණ්ඩාර වන මිය­ගිය තම සැමි­යාගේ මෘත දේහය පිළි­බඳ හදිසි මරණ පරී­ක්ෂ­ණ­යේදී සාක්ෂි දෙමිනි.

මෘත දේහය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී ඩී.ඇල්.ඇම්. සේනා­නා­යක මහතා සිදු කළ අතර, මෘත දේහය පිළි­බඳ හදිසි මරණ පරී­ක්ෂ­ණය තලං­ගම හදිසි මරණ පරී­ක්ෂිකා සාම­වි­නි­සුරු ප්‍රේම­ලතා අබේ­ව­ර්ධන මහ­ත්මිය විසින් (23) දා සිදු කළාය.

එහිදී තව­දු­ර­ටත් සාක්ෂි දෙමින් එච්.එල්. චම්පිකා මහ­ත්මිය මෙසේද කීවාය:



“මේ මිය­ගොස් සිටින්නේ මගේ සැමියා. අප විවාහ වී දැනට අවු­රුදු 36ක්. අපට දරු­වන් දෙදෙ­නකු ඉන්නවා. දුව ලංකාවේ පුතා ඔස්ට්‍රේ­ලි­යාවේ. මගේ සැමි­යාට වසර 5ක පමණ සිට අධික රුධිර පීඩ­නය තිබුණා. ඒ සඳහා පෞද්ග­ලික වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් තාව­කා­ලි­කව ප්‍රති­කාර ගත්තා. ඒත් ස්ථිර­වම ප්‍රති­කාර ගන්න ගියේ නෑ. මහ­ත්තය බෙහෙත් බොන්න ටිකක් කම්මැ­ළියි. මගෙ සැමියා මස් මාළු කන්නෙ නෑ. එදා (22) උදේ 7.00ට පමණ ජ්‍යෝතිෂ වැඩ­ස­ට­හ­න­කට සහ­භාගි වීමට තිබෙ­නවා කියලා කලින් දවසෙ මට පැවසූ නිසා පසුදා උදෑ­සන 4.00ට අවදි වී කොළ­කැඳ පාන­යක් සකසා අලු­යම 5.45ට පමණ මහ­ත්තයා නිදා සිටි කාම­ර­යට ගොස් ඔහු අවදි කිරී­මට උත්සාහ කළා. එහෙත් කිසිදු ප්‍රති­චා­ර­යක් දැක්වූවේ නෑ. කොත­රම් සෙල­වු­වත් අවදි වුණේ නෑ. මට ටිකක් බය හිතුණා. පසුව මම දුර­ක­ත­න­යෙන් දුවට දැනුම් දුන්නට පස්සේ දුව ක්ෂණි­කව ගිලන් රථ­යක් එවුවා. පසුව සැමියා රැගෙන තල­ව­තු­ගොඩ හේමාස් රෝහ­ලට ගියා. එහිදී වෛද්‍ය­ව­රුන් පැව­සුවේ සැමියා මිය­ගොස් ඇති බවයි. මහ­ත්ත­යාගේ මර­ණය පිළි­බඳ මට සැක­යක් නැහැ.”

මිය­ගිය චන්ද්‍ර­සිරි බණ්ඩාර මහ­තාගේ එකම දිය­ණිය වන හේරත් මුදි­ය­න්සේ­ලාගේ සමාධි ලංකා බණ්ඩාර (34) මහ­ත්මිය සාක්ෂි දෙමින් මෙසේ කීවාය:



“මේ මිය­ගොස් සිටින්නේ මගේ පියා. විවා­හ­යෙන් පසුව අප වෙනම ජීවත් වෙන්නේ. පෞද්ග­ලික ආය­ත­න­යක අධ්‍ය­ක්ෂ­ක­ව­රි­යක ලෙස මම සේවය කර­නවා. මගේ සහෝ­ද­රයා රැකි­යාව කරන්නේ ඔස්ට්‍රේ­ලි­යාවේ පර්ත් නුවර. සිද්ධිය වූ දා අම්ම මට දුර­ක­ත­න­යෙන් කතා කර කිවුවා තාත්තාට කැඳ ටික අර­ගෙන කාම­ර­යට ආවා, කතා කළා කතා කළා, තාත්තා නැගි­ටින්නෙ නෑ නේ කියලා. ඊට පස්සේ මම අම්මට කිවුවා ඉක්ම­නට ලෑස්ති වෙන්න, මම ගිලන් රථ­යක් එව­න්නම් කියලා. ඒ පාර අම්ම­ලාගේ නිවෙස අසල තවත් කිහිප දෙනකු සමඟ තාත්තව තල­ව­තෙ­කුට හේමාස් රෝහ­ලට රැගෙන ගිහින් තිබුණා. ඉන් ටික වේලා­ව­කට පසු මමත් රෝහ­ලට ගියා. ඒ යන විටත් වෛද්‍ය­ව­රුන් අම්මට කියලා තිබුණේ තාත්තා මිය ගිහින් කියලා.”

ඉදි­රි­පත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරී­ක්ෂණ වාර්තා­වට අනුව අභා­ව­ප්‍රාප්ත ප්‍රවීණ ජ්‍යෝති­ර්වේදි චන්ද්‍ර­සිරි බණ්ඩාර මහ­තාගේ මර­ණ­යට හේතුව හෘද­යා­බා­ධ­යක් බවට තලං­ගම හදිසි මරණ පරී­ක්ෂිකා සාම­වි­නි­සුරු ප්‍රේම­ලතා අබේ­ව­ර්ධන මහ­ත්මිය නිග­ම­නය කළාය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් මාලබේ පොලි­සියේ පොලිස් කොස්තා­පල් (23034) වේරංග ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ මෙහෙ­ය­වූහ.

කොට්ටාව - ප්‍රදීප් කුමාර