වෑන් රිය හැල්මේ ඇදෙයි. අධිවේගී මාර්ගය ඔස්සේ දොඩම්ගොඩ පිවිසුමෙන් පැමිණෙන විටත් හාත්පස අඳුරුය. අඳුරු අහස අතරෙන් එන එළිපොදත් බරය. ඒ බර එළියෙන් පෙනෙන්නේ බර වූ මුහුණු සහිත මිනිස්සුය. දර්ගා නගරය පසු කර මඳක් දුර යන විට පෙනෙන්නේ පළාතක්ම සසල කර ඇති එකම මළ ගෙයකි. සෑම නිවෙසක් ඉදිරියේම දැමූ සුදු කොඩියකි. පාර අයිනේ කම්මුල්වල අත තබා ගත් වියපත් අම්මාවරුය. පොඩි උන් ඇකයේ තබාගෙන තැන තැන මුමුණන ගැහැනුය. දෑත් බැඳගෙන අරමුණකින් තොරව බලාගෙන ඉන්නා පිරිමිය.

දේශපාලකයකුගේ මරණය විහිළුවක් බවට පත්වන රටක දේශපාලනය කළ පුද්ගලයෙක් වෙනුවෙන් එකෙළාව හඬා වැටෙනා මිනිසුන් වෙතැයි නොසිතුවෙමි. ඇත්තම මිනිස්සු එළියට එන්නේ මරණයෙන් පසු බව අසා ඇත්තෙමි. පාලිත තෙවරප්පෙරුම සමාජයක් කම්පා කළ හැකි මෙවැනි ඇත්ත මිනිසෙක් වී යැයි මෙතෙක් මා තුන් හිතකින්වත් කල්පනා කර තිබුණේ නැත.

මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ මට එකම සිනාවක්වත් දකින්නට නැත. වාහනය ම‍ෙඟහි නවතා මළගෙදරට යන මඟෙහි හිමිහිට ගමන් කරමින් සිටියෙමු.

ඒ අතුරු පාර දෙපස පාලිත ගේ සොයුරු සොයුරියන්ගේ නිවෙස්ය. සෑම නිවෙසක් අසලම ජනසන්නිපාතයකි. පාලිත ගේ නිවෙස් භූමිය මිනිස්සුන්ගෙන් පිරි ගොස්ය. වියපත් අම්මලා හඬා වැටෙති. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැත. පීඩිත යැයි හැඟෙන වැහැරී ගිය මුහුණු ද ගිලී ගිය ඇස් ද සහිත සියක් මිනිස්සුන්ගෙන් අවට පිරී ඇත. ඒ අතර හිමිවරු වෙති. කලාකරුවෝ සිටිති. පක්ෂ පාට අත්හළ දේශපාලකයෝ හිඳිති.

ගෙමිදුලට ගොඩවන තැන බුද්ධ මන්දිරයකි. ඒ බුදු මැදුර ඔහුගේ ජීවිතය වෙනස් කළ වැඩිමහල් පුතු සහන්ගේ වියෝවෙන් පසු ඉදි වූවකි. බුදු මැදුරට පසෙකින් සහන් ගේ සොහොනය. ඔහුගේ මතක සහිත බැනර ගෙවත්තට ඇතුළුවන කෙනකුගේ මුල්ම දැකුමය. “දවස ගානේ බුදුන්ට වැඳලා පුතාගෙ සොහොනට වැඳලා ගෙදරින් පිටවෙන චණ්ඩි මහත්තයා ගෙදරට ගොඩ වෙන්නේ පුතාගේ සොහොන ළඟට ගිහින් නිදාගෙන ඉඳලා තමයි. ” අසල හිඳි ගැමියෙක් කියනු ඇසිණි. සිය පුතු වෙනුවෙන් ජීවිත කාලයම හඬා වැටෙමින් සිටින්නට නියම වී සිටි පියකුගේ අනුවේදනීය කතාව ඒ හැම තැනකම ලියැවී තිබිණි. අද ඒ තාත්තාත් අවසන් ගමන් ගොස්ය. මේ මහා ජන සන්නිපාතයක් හඬා වැටෙමින් සිටින්නේ ඒ තාත්තා වෙනුවෙනි.

මිනිස්සු පෝලිමේ පැමිණ පාලිත තෙවරප්පෙරුමගේ නිසල දේහයට අවසන් ගෞරව දක්වා යති.

සාටෝප නැති නිවෙසේ සාලයේ කොනක ඉතාම අරුමෝසම් රහිත දෙනක පාලිත තෙවරප්පෙරුම සදාකාලික නින්දේ සැතපී සිටියේය. දෙන තැන්පත් කර ඇති තැනක කැබිනට්ටුවකි. එහි ඔහු මෙතෙක් උපයා ගත් ඇගැයීම් පිරී ඇත. ඒ ඇගැයීම්වල මිනිසුන්ගේ සැබෑ ආදරය තිබුණු බව දැන් ඔහු හුදෙකලා නොකර ඔහු වටා එක් වී සිටින ජන ගඟ සාක්ෂි දරන බව හැඟිණි. අපව විකර්ෂණය කරන දේශපාලකයා තුළ සැඟවී සිටි පාලිත තෙවරප්පෙරුම නමැති මිනිස්සුන්ගේ මිනිසා මුල්ම සහ අවසන් වතාවට දුටුවෙමි. මා හිතන විදිහට ඔහු අපට මග හැරී ගිය මිනිසෙකි.

යළි ගෙමිදුලට පැමිණ මිනිසුන් අතරට මුහුවන විට සහන්ගේ සොහොනට වම් පසින් ඉදි කළ විශාල ශාලාවකි. ඒ ශාලාව තුළ සිය ගණනක් මිනිස්සු රැඳී හිඳිති. “ මේ ශාලාවෙ තමයි චණ්ඩි මහත්තයා දාන දුන්නේ. හාමුදුරුවරුන්ට වගේම නැති බැරි අයටත් දාන දුන්නා. පුතා නැතිවුණාට පස්සේ මේ ශාලාවෙ දානයක් මග හැරුණෙ චණ්ඩි මහත්තයා ගෙදර නොහිටියොත් තමයි…” වියපත් ගැමි කාන්තාවක් කීවාය.

අප පාලිත තෙවරප්පෙරුම කිව්වාට ගමේ ඇත්තන්ට ඔහු චණ්ඩි මහත්තයාය. චණ්ඩි මාමාය. චණ්ඩි පුතාය. චණ්ඩි අයියා ය. චණ්ඩි මල්ලීය. බැනර් පොස්ටර් කටවුට්වල ද ඇත්තේ මේ ආමන්ත්‍රණය ය. ඒ ආමන්ත්‍රණය කවදාවත් හිත් තුළින් අමතක නොවන ලෙන්ගතු ආදරණීය බැඳීමක් විනා මැරකමක් පිළිබඳ අංශු මාත්‍ර ප්‍රකාශනයක් නැති බව සුසුම් හෙළන මිනිසුන් ළඟ දී දුටුවෙමි.

ඔවුන් අතර සිටි තෙහෙට්ටුවෙන් පිඩිත වූ මිනිසෙකි. පාලිත තෙවරප්පෙරුම මෙන් අයෝමය සිරුරක් නැති මේ කෙසඟ මිනිසා ඔහුගේ සොයුරු සරත්ය. සරත් මේ සිදුවූ ව්‍යසනය තවම අදහා ගැනීමට නොහැකිව තිගැස්මෙන් සිටියේය. “එයාට චණ්ඩි මල්ලි කිව්වේ අපේ තාත්තා. අපේ ගෙදර 09 දෙනයි. පිරිමි පහයි. ගෑනු අය 04යි. මට බාල හිටියේ මල්ලි… අපි දෙන්න තමයි ගොඩාක් සමීප.” සරත් කියන්නේ ආයාසයෙන් එන හැඬුම් වළක්වා ගනිමිනි. මල්ලි පොඩි කාලේ ඉඳන්ම සැරයි. තාත්තා තරවටු කළත් ගැහුවත් ගෙදරින් පැනලා ගිහින් ගස් ගල් උඩ රෑ නිදියන් ඉඳලා තමයි එන්නේ. පොඩි කාලෙ තාත්ත චණ්ඩි පුතා කියපු එක තමයි පස්සෙ හැමෝම චණ්ඩි කියන කෑල්ල දාලා කතා කරන්න ගත්තේ.

තාත්තත් සමාජ සේවයට කැමතියි. ඒක පවුලේ හැමෝටම පිහිටලා තියෙන්න ඇති. ලොකු අයියා මුලින්ම ප්‍රාදේශීය සභාවෙ හිටියා. අයියට උදව් කරන්නයි මල්ලි දේශපාලනයට මුලින්ම ආවේ. ඔහුට කවදාවත් දේශපාලනය කරන්න අදහසක් තිබුණෙ නෑ…. මල්ලිට හිටියා විශාල මිතුරු පිරිසක්. ඒ මිතුරු හවුලේ නායකයා වුණෙත් ඔහු. ඒක ඉල්ලලා ගත්තු නායකත්වයක් නෙමෙයි. ඒක තමයි ඔහුට දේශපාලනයට එන්න මඟ හැදුවේ. මල්ලි කවදාවත් කාටවත් දුක කිව්වේ නෑ. පුතා නැතිවුණු වෙලාව දක්වා කවදාවත් එයා ඇඬුවේ නෑ. තමන්ගේ දේ තනියම කරගත්තා. “ සරත්ට අවුරුද්දෙන් පසු සිය සොයුරා සමඟ හරියට කතා කරන්නට අවස්ථාවක් ලැබී නැත. පාලිත අවුරුද්ද දවසේ නිවෙසේ සිට නැත. ඔහු ගත කර ඇත්තේ පොලොන්නරුවේ ය. නැවත ගෙදර එන්නේ 15 වැනිදා රාත්‍රියේය. 16 ඔහු අනතුරට ලක් වී මිය යන්නේය.

“එයාට එයාගෙ මරණය දැනෙන්න ඇති. එයාගෙ යාළුවන්ට එයා මැරුණට පස්සේ අවසන් කටයුතු කරන විදිහත් කියලා තිබුණා. සොහොන හදලා තිබුණා. මිනිස්සු වෙනුවෙන් ඒ මනුස්සයගේ හිතේ තිබුණු ඉඩ දැන් තමයි තේරෙන්නේ… මල්ලිව හරියටම දැනෙන්න මල්ලි මැරෙනකම් ඉන්න වුණා…” සරත් එක්වරම ඉකි බිඳින්නට වූයේ පොඩි දරුවෙක් මෙනි.

පාලිත විදුලි රැහැනක පැටලී අවාසනාවන්ත ලෙස මිය යන මොහොත සියැසින් දුටුවේ ඔහුගේ වැඩිමල් සොයුරකුගේ මුනුපුරා වූ සංජුල තෙවරප්පෙරුමය. 16 වැනිදා වැසි දවසකි. එදින ඔහු සංජුලත් සමඟ ලොරියක නැඟී ගොස් සිය ප්‍රධානම ආදායම් මාර්ගයවන පොල් වත්තට අවශ්‍ය කුකුල් පොහොර ගෙනැවිත් තිබිණි.

“ සීයා පොහොර මලු ලොරියෙම ගිහින් තැන් තැන්වල බෑවා මාත් එක්ක. අපි තව දෙන්නෙක් හිටියා. ඒ කුකුළු පොහොර සීයාගේ අතින්ම ගස්වලට දාන්න ඕන වුණු නිසා පෝර බෑග් එකක් අරන් පස්සෙන් පස්සට ඇදගෙන ගියා. එකපාරමට ‘අම්මෝ‘ කියලා කෑ ගහගෙන සීයා වැටුණා. අපි දන්න ප්‍රථමාධාර දීලා විනාඩි 05ක් ඇතුළත හන්දියට ගෙනාවා. ඒ වෙනකොට හන්දියට දුවන් ආපු අය වාහනයක් ලෑස්ති කරලා තිබුණේ. ඉස්පිරිතාලෙට ගෙනිච්චත් අනේ සීයා නැති වුණා.” ඔහු සුසුම් හෙළමිනි.

නුෂාන් තෙවරප්පෙරුම පාලිතගේ දෙවැනි පුතාය. ජීවිතයේ අවාසනාවන්තම අත්දැකීම් දෙකක් තරුණයෙක් සේ අත් විඳි ඔහුට මේ වනවිට සිය වැඩිමල් සොයුරා නැත. යෝධයෙක් වගේ සිටි පියාත් නැත. දෙදෙනාම අකල්හි ඔහුව අත්හැර ගොසිණි. “අයියා නැති වුණාට පස්සේ තාත්තා මහා කඩා වැටීමක හිටියේ. අයියා නැතිවුණාට පස්සේ තාත්තා සම්පූර්ණයෙන් වෙනස් වුණා. තාත්තා අඬනවා දැක්කේ මම ඒ වෙලාවෙදී. ඇමැතිකම්, ගෙවල් දොරවල්, යාන වාහන නැතිවෙද්දි වගේ වගක් නැතිව හිටිය තාත්තා එදා ඉඳන් හැමදාම හොරෙන් ඇඬුවා.

අයියා නැතිවුණාට පස්සේ තාත්තට උදව් කරගෙන මම ගෙදර හිටියා. ගෙදරදී තාත්තා වුවමනා දේ කතා කරනවා. වුවමනා දේට උත්තර දෙනවා. ඒ එයාගෙ හැටි. අපි ඒකට හුරු වෙලා හිටියෙ. වත්තට පෝර දාන්න එදා මමත් ගියා. මහ වැස්ස නිසා එයාලා පස් දෙනා පෝර බෑග් බානකම් මම ෆෝන් එක බයික් එකේ සීට් එක යට දාගෙන ගෙදර ආවා. ගෙදර එනකොට කෝල් ගොඩක් ඇවිත්. එයා ඉස්පිරිතාලේ අරන් ගියා කිව්වා. මම හොස්පිටල් එකට යනකොට තාත්තා යන්නම ගිහින්. තවම මොකද වුණේ කියලා මට හිතාගන්න බෑ. ඉස්සරහට මොනව වෙයි ද කියලා හිතාගන්නත් බෑ.” නුෂාන් ගොළු වන්නේය.

මළ ගෙදර තැන තැන නිහඬව හඬා වැටෙන මිනිස්සුය. “ඉන්න ඕන මනුස්සයෙක් නේද මේ පුතේ.. මම ඉන්නේ ලෙඩ ගානේ. දැක්කොත් නැන්දෙ කියලා කතා කරලා ජීවිතේ ගැන අහනවා. මට අවුරුද්දට සල්ලි දෙන්න එන්න කියලා තිබුණා. මට සල්ලි ටිකක් හම්බ වුණා. මම ඉතින් මහත්තයා හම්බ වෙන්න ආවේ නෑ කියලා මම කිව්වා. මට කියලා තිබුණා නැන්දා දැන් ආඩම්බර වෙලා කියලා…” යටදොල වත්තේ මවක් කීවාය.

තවත් තැනක ඉකි ගසමින් සිටිනා කෙසඟ කාන්තාවකි. “ අපිට යන්න එන්න තැනක් තිබුණෙ නෑ. ඉන්න හිටින්න ඉඩම් කෑල්ල දුන්නේ මේ මහත්තයා. ඒකේ ගෙයක් අටව ගෙන තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම ගෙවල් 15ක් විතර අපේ කෑල්ලෙ තියනවා. අපි කාත් කවුරුවත් නැති මිනිස්සු වුණාට අපේ හිතේ තිබුණා අපේ හයියට කවුරුහරි ඉන්නවා කියලා. ඒ හයිය තමයි නැති වුණේ…” ඇය හා වේදනාව බෙදා ගත් තවත් අම්මා කෙනෙකුට ද කියන්නට කතාවක් තිබිණි.

“ මම පොඩි කඩ කෑල්ලක් අටවන් පාර අයිනෙ පැණි හකුරු විකුණ ගෙන ඉන්නේ. මගෙ කඩේ හැමදාම කවුරු හරි කඩලා දානවා.

බැරිම තැන මගේ කඩේ කඩන උන්ට හොඳක් වෙන්න එපා කියලා මම බෝඩ් එකක් දැම්මා. මහත්තයා යන ගමන් ඒ බෝඩ් එක දැකලා නැවතුණා. ඇයි නැන්දේ. මොකක්ද මේ කියලා ඇහුවා. මම ඉතින් සිද්ධිය කිව්වා. හරි… මම ඒක බලාගන්නම්. ආයෙ කරදර වෙන එකක් නෑ නැන්දෙ කියලා ගියා. ඇත්තමයි නෝනා එදා ඉඳන් කිසිම කරදරයක් වුණේ නෑ. දුප්පත් නැති බැරි මිනිස්සුනට මහත්තයා උදව් කළේ ඒක තමන්ගේ දෙයක් කියලා හිතලා”… එක දිගට කතා වැලකි. හඬා වැටෙමින් මේ පැමිණ ඇත්තේ මිනිස්සුන්ගේම කුහකකම් නිසා ගමට අහිමි වී ගිය පාර කපා දුන්න, ඉන්න තැනක් දුන්න, නැති බැරි මොහොතේ පිහිටට හිටිය, අසාධාරණයක් වී හුදෙකලා වූ අවස්ථාවේදී කොන්දේසි නැතිව පිහිට වුණ, පිහිටට එද්දී පක්ෂ පාට, ජාති භේද නොසැලකූ තමන්ගේ හිත්වල හිටි ළෙන්ගතුම මිනිසාට සමු දෙන්නටය.

මේ මිනිස්සු කියන්නේ අප මවිත කරවන කතාවකි. ඒ කතා ඔහුගේ පාසල් අවදිය තෙක් දිවෙන්නේය. මූූණමල්වත්ත පාලමෙන් බස් එකක් ගඟට පෙරළුණේය. බස් රථය පාවෙන්නේය. මිනිස්සු විලාප දෙන්නෝය. අවට රොක් වූ පිරිස් වික්ෂිප්තව බලාගෙනය. එක්වරම පිටුපසින් පැමිණි වාහනයක් නැවැත්වූ තරුණයෙක් දිව ගොස් දියට පැන්නේය. පිහිනා යමින් දියේ ගිලෙන පිරිස් වාරු කරගෙන එක එකා ගොඩට ගෙන එන්නට පටන් ගත්තේය. මේ ආරම්භය සමඟ පුළුල් ගලවා ගැනීමේ මෙහෙයුමක් අවට සිටි පිරිස් එක්ව ආරම්භ කළහ. දිවි පරදුවට තබා මුලින්ම දියට පැන්න ඒ තරුණයා පාලිත තෙවරප්පෙරුමය.

දර්ගා නගරයේ ගැටුමක් ඇති වුණේය. තරුණ පිරිසක් ගැටුම මැද කොටු වී සිටියේය. පාලිත තෙවරප්පෙරුම බෝතල් පහර කාගෙන ලේ වැගිරෙන ඇස අතින් වසාගෙන එම තරුණ පිරිස රැගෙන රෝහල වෙත පැමිණි ආකාරය මිනිස්සු කියනු අසා සිටියෙමි. තමන්ගේ දරුවාට පොත් මේසයක් නැති බව කියා පැමිණි ගැමි ගැහැනියකට සිය කාමරයෙන් මේසය රැගෙන විත් ත්‍රීවීලයේ පටවා බැඳ දුන් අයුරු එක් කාන්තාවක් කීවාය. මතුගම ප්‍රසිද්ධ විද්‍යාලයකට ඇතුළත් කරගත යුතුව තිබූ දරුවන් 10 දෙනෙක් අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප වුණු අවස්ථාවේ මැදිහත්ව ඒ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා සලසා දුන් අයුරුත්, ප්‍රසිද්ධ බහු ජාතික සමාගමක් කරන පරිසර දූෂණයක් පක්ෂයේ ප්‍රධානීන්ගේ ඉල්ලීමද නොතකා ජයග්‍රහණය තෙක් රැගෙන ගිය ආකාරයත් මිනිස්සු කියනු අසා සිටියෙමි.

ප්‍රදේශයෙන් ඉහළම ඡන්ද ලබාගෙන ප්‍රාදේශීය සභාවට ගොස් එහි අරමුදල් කළමනාකරණය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන විට මිනිස්සු ප්‍රාදේශීය සභාවට ගොස් වරිපනම් ගෙවූ අයුරු ඔහුගේ දේශපාලන සඟයෝ කීහ. පළාත් සභාව තුළ ජනතාවට වැඩක් කළ නොහැකි බව පවසා පළාත් සභාවෙන් ඉවත් වී යළි ප්‍රාදේශීය සභාවට පැමිණි අයුරු ඔවුහු පැවසූහ. තුන්වරක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දෙවරක් නියෝජ්‍ය ඇමති ධුර දැරූ පාලිත තෙවරප්පෙරුමගේ අපත් දන්නා චරිත ස්වරූපය ව්‍යාජයක් නොවන බව කියන මේ කතාව අසා සිටියෙමි.

“පාලිත මහත්තයට වැඩක් කරනකොට එයාටම ඒක කරන්න ඕන පුරුද්දක් තිබුණා. ඒක කිසිසේත්ම මාධ්‍ය සංදර්ශනයක් නෙමෙයි. එයාගේ ස්වරූපය. මේ කතාව මම කියන්නම් එතුමාව තේරුම් ගන්න. ඒ දවස්වල අපි දෙන්නම ප්‍රාදේශීය සභාවෙ. එතුමා ප්‍රාදේශීය සභා සභාපති. අපි දෙන්න බස් එකේ එන්නෙ. ගෙනාපු බත් එක කැන්ටිමේ ඉඳන් කනවා. අපිට පේනවා පොළේ කුණු වතුර එන වළට ගලක් වැටිලා. කම්කරුවො ඒක ගන්න උත්සාහ කරනවා උදැල්ලකින්. ඒත් වැටෙනවා. පාලිත මහත්තයා බත් කාලා අත හෝදගෙන කෙළින්ම ගියා එතෙන්ට. සරම කැහැපට ගහන් කුණු වළට බැහැලා ගල අයින් කරලා අත පය හෝදගෙන ගිහින් සභාපති පුටුවෙ වාඩි වුණා. සභාපතිට තිබුණ සුව පහසු පුටුවෙ ඔහු වාඩි වුණේ නෑ. ඒ පුටුව තමන් හම්බ වෙන කෙනාට ඉඳගන්න ඉස්සරහින් තියලා එතුමා ඉඳගත්තේ ප්ලාස්ටික් පුටුවක” ඒ කතාව කියන්නේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාය. ඔවුන් කියන්නේ අනුන්ගේ දුක තමන්ගේ කරගෙන කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර මිනිස්සුන්ට උදව් කළ මිනිසෙක් ගැනය. අවසාන වකවානුවේ දේශපාලනය ගැන උපන් කලකිරීමෙන් පීඩිතව සිටි මිනිසෙක් ගැනය. ඕනෑම අවස්ථාවක උදව්වක් ඉල්ලාගෙන ප්‍රවේශ වීම සඳහා සිය නිවෙසේ ජනෙල් දොරවල් පැය විසි හතරේ ඇර දමා තිබූ මිනිසෙක් ගැනය. බලය නැතිවනවිට ඈත් වී යන මිනිසුන් දෙස උපේක්ෂාවෙන් බැලූ මිනිසෙක් ගැනය. දේශපාලනය නිසා සිය පණ වැනි දරුවාට සිය යුතුකම් ඉටු කිරීමට නොහැකිව තමන්ගේ දෑස් ඉදිරියේ මිය ගිය පසු වේදනාවෙන් හඬා වැටුණ පියෙක් ගැනය.

කන් පිරී ගිය ඒ වේදනාත්මක කතා අසමින් ඔහු විසින් අවසන් ගමන් යෑමට සදාගත් සොහොන් බිම සහිත වත්තට ගමන් කරමි. ඔහු සිය ජීවනෝපාය සරි කරගත්තේ මේ වත්තෙනි. කදිම ගොවියෙක් ලෙස ඔහු මේ ගොවිතැනත් පොල් වගාවත් කරගෙන ගොස් තිබිණි. ප්‍රවේශයේ වම් පස දැවැන්ත වැවකි. ඒ වැව ඔහු විසින් කළ නිර්මාණයකි. වැව් තාවුල්ලේ ඔහුගේ සොහොනය. අවසන් වරට පොල් ගස් වටා දැමීමට ගෙනා පොහොර ගෝනි තවමත් ගස් පාමුල ය. සොහොනට පහළින් වැව තුළට නෙරා ගිය පීඨිකාව තැනූ කුඩා ඉදිකිරීමකි. සිය පුතු සහන් අවසන් ගමන් ගිය දිනයේ සිට ඔහු වැඩිමනත් කාලයක් ගත කර තිබුණේ වැව දෙස බලාගෙන මේ පීඨිකාව මතය. සොහොන ඉදිරියෙන් දිවෙන ගුරු පාරේ වම්පස කඳු ගැටයක් මත අඩක් නිමවී ඇති නිවාස දෙකකි. යන්නට එන්නට තැනක් නැති මිනිසුන් සිය ගණනකගේ තාවකාලික ලැගුම්හල වී ඇත්තේ ඒ නිවෙස්ය.

අපි ඒ ගුරු පාර දිගේ ගමන් කරමින් සිටිමු. පාලිතගේ හඬින් ඔහුගේ මරණ දවසේ ගායනා කරන්නට ඔහු සදාගත් ගීතය වාදනය කරනු ඇසේ. එය අසා ගෙන යළිත් අපි වාහනය වෙත පැමිණියෙමු. හිතට එන්නේ එකම එක අදහසක් පමණි… මැරෙන බව දන්නවා නම් මේ මනුස්සයා වගේ ජීවත් වෙයල්ලා…

ඡායාරූප – තිලක් පෙරේරා

ටානියා මෝසස් (Silumina)