parliament-vehicle-issue

තීරු බදුරහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට වැඩි පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේ දී බාර දී ඇත.මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ

කනිෂ්ඨ මන්ත්‍රීවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ද ඇතුළත් වෙති.මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ (28) කළ විමසුමකදී ඔහු පැවැසුවේ. මෙම ලිපිය තමා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බවයි.

මෙම වාහන බලපතේ ගැටලුව විසඳීම තමාට තනිව කළ හැකි කාරණයක් නොවේ යැයි ද ඔහු සඳහන් කළේය.

එසේම මෙම කාරණය ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ද ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ඉල්ලීමේ යෝජනාව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ඡා කර ඇතත් එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඊට විරුද්ධත්වය පළ කර ඇතැයි දැනගන්නට ඇත.



රට ආර්ථික වශයෙන් අගාධයක සිටින මොහොතක මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම අසාධාරණ හෙයින් සාමාන්‍ය රජයේ සේවකයන්ට ලබාදෙන ආකාරයේ වාහන බලපත්‍රයක් ලබාදීම පමණක් සලකා බැලිය හැකි බව ද මෙහිදී ඔවුන් පෙන්වා දී තිබිණ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි දෙකකට වැඩි වටිනා වාහනයක් මිලදී ගැනීමට හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් මීට පෙර හිමිවිය. මෙම බලපත්‍රය ලබාදීම රටේ ආර්ථික තත්වය හේතුවෙන් මීට වසර නවයකට පෙර සිට නතර කෙරිණ. එම බලපත්‍රය අවසන් වරට නිකුත් කෙරුණේ ඉකුත් 2015 වර්ෂයේදීය. මේ අතර ඉදිරි මැතිවරණවලට පෙර වාහන බලපත්‍රය නොලැබුණහොත් තමන් මැතිවරණවලට ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද වාර්තා විය.

සුජිත් හේවාජුලිගේ