beddage-song-issue

 ‘සූරිය මංගල්ලේ’ නම් අලුත් අවුරුදු සැමරුම් ගීය අසැබි වචන යොදා සංස්කරණය කළැයි කියන අයකු මේ මස 22 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළ කුලියාපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් උපුල් අලගියවන්න මහතා සැකකරු බන්ධනාගාරය මගින් කුරුණෑගල මානසික ඒකකයට යොමුකර වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන්නැයි ද නියම කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ දුම්මලසූරියේ සුරාබදු උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහනුවර තලාතුඔය පදිංචිකරුවෙකි.

සිංහල අලුත් අවුරුද්දේ සංස්කෘතිකමය රසය වඩා තීව්‍ර වන අන්දමින් ප්‍රවීණ සංගීතඥ ජනශ්‍රැති පර්යේෂක රෝහණ බැද්දගේ මහතා විසින් රංවල බලකාය සමගින් නිර්මාණය කරමින් ජනප්‍රසාදයට පත් සූරිය මංගල්ලේ ගීතය එසේ තනුව සංගීතය පවතින්නට හැර

වචන විකෘති කර සැකකරු විසින් ප්‍රතිනිර්මාණය කර ඇතැයි සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ලද පැමිණිලි කීපයක් පදනම් කරගනිමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පරිගණක අපරාධ විශේෂ ඒකකයට පවරා තිබූ විමර්ශන අනුව එම ඒකකයේ වයඹ පළාත් ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බැව් පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීහු අධිකරණයට කරුණු කීහ.

එමෙන්ම රූපවාහිනී නාලිකාවක (ස්වාධීන රූපවාහිනී ලෙස නම් සඳහන් කරයි) අවුරුදු තේමා ගීයක වූ මෙම ගීතය ඉතාම අශෝභන වචන යොදමින් ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධව එහි නිර්මාතෘ රෝහණ බැද්දගේ මහතා ඇතුළු පාර්ශ්ව ගණනාවක් දැඩි අවධානයෙන් පසුවන බව ද පැවසීය.



සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එහිදී අධිකරණයට කියා සිටියේ සැකකරු අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබූ වීඩියෝවක් තම මුහුණුපොත ඔස්සේ පළ කළා (ෂෙයා) හැර ප්‍රතිනිර්මාණය නොකළ බවයි. එම ගීය තවත් ටික්ටොක්,

යූ ටියුබ්, ෆේස්බුක් ආදී ගිණුම් රැසකම පවතින බව ද පැවසූ නීතිඥයින් එසේ අත්අඩංගුවට ගන්නේ නම් අති විශාල පිරිසක් අත්අඩංගුවට ගතයුතු බව ද කීහ. එම ගීතයේ කිසිදු අසභ්‍ය වදනක් අඩංගු නොවන බව කියමින් සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලා සිටියහ.

දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඇප ප්‍රතික්ෂේප කළේය.

පරිගණක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මලීශ හේරත්, සැරයන් මහේෂ් (71191), දසනායක (60934), කුලසිංහ (93508) යන නිලධාරීහු පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූහ. මෙම නඩුවේ සැකකරු වෙනුවෙන් නීතිඥ චන්දන යාපා, තිනෙත් කොරසගල්ල යන මහත්වරු පෙනී සිටියහ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ