monaragala-incident

මොනරාගල තණමල්විල පොලිසියේ පොලිස් නිලධාරීන් හතර දෙනකුට සවලකින් සහ පොලුවලින් පහර දී තුවාල කළේ යැයි කියන තිදෙනකු පෙරේදා (17) සැකපිට අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පවසයි.ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් රෝහල් ගතකරනු ලැබ

සිටිති.තණමල්විල වැල්ලවාය මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සැක කටයුතු ලෙස වූ යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා නොනවත්වා පලායන අවස්ථාවේ දී  කොස්තාපල්වරුන් දෙදෙනා ලුහුබැඳ ගොස් එම  යතුරුපැදිය අල්ලාගෙන ඇතැයි පොලීසිය කියයි.



යතුරු පැදිය පදවාගෙන ආ පුද්ගලයා බිමත්ව සිටින බව පෙනී ගිය හෙයින් ඔහු සහ යතුරුපැදිය පොලිස් භාරයට රැගෙන යෑම සඳහා රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට දැනුම් දී ඔවුන් දෙදෙනා එම ස්ථානයට කැඳවාගෙන ඇතැයි පොලිසිය කියයි.මේ අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදුණු බීමතින් සිටි බව කියන දෙදෙනකු යතුරුපැදිකරු ද සමග එක්වී පොලිස් නිලධාරින් සිවු දෙනාට සවලකින් සහ පොලුවලින් පහරදී තුවාල සිදුකර ඇතැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ තණමල්විල සහ ලුණුගම්වෙහෙර යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 45, 42 සහ 41 යන වයස්වල පසුවන්නෝ වෙති. තණමල්විල පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය