minister-seq-removal

ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් නොමැති ප්‍රභූවරුන්ට පොලිස් නිලධාරීන් පන්දහසකට ආසන්න පිරිසක් කාලයක සිට යොදවා සිටින බවට රජයට තොරතුරු ලැබී ඇත. ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල

ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා රාජ්‍ය බුද්ධි සේවයට දැනුම්දී ඇත.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා පැවසුවේ දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන් ළඟදීම ඉවත් කිරීමටෙ කටයුතු කරන බවයි.



මේ අතර ආරක්ෂාව පිළිබඳ තර්ජන නොමැති  පිරිස්වලටමෙලෙස ප්‍රභූ ආරක්ෂකයන් යෙදවීම හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතළ හිඟයක් මතුව ඇතැයි වාර්තා වේ. මෙසේ පොලිස් නිලධාරීන් ලබාදී ඇති පිරිස් අතර හිටපු දේශපාලනඥයන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමතිවරුන්, දේශපාලනඥයන්ගේ ඇතැම් බිරින්දෑවරුන්, මහා නායක හිමිවරුන් සහ නිලමෙවරුන් යනාදී අයද වෙතියි දැනගන්නට ඇත.මෙම ප්‍රභූවරුන්ට දී ඇති ප්‍රභූ ආරක්ෂකයන් ආරක්ෂක කටයුතු වලට අමතරව ඔවුන්ගේ ගෙදර දොරේ සාමාන්‍ය කටයුතුවලටද සම්බන්ධ කරගෙන සිටින බවට පොලිස් දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.

සුජිත් හේවාජුලිගේ