kelani-university-students-death

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු නේවාසිකාගාරයේදී හදිසියේ මියයාම ගැන ඊයේ පුවතක් පළවිය. එම අසනීප අවස්ථාවේ සරසවි බලධාරීන් ක්‍රියාකළ ආකාරය ගැන ප්‍රශ්නකාරී තත්වයක්ද මතුවිය. මේ අතර එම සරසවියේම සිසුවියක ද හදිසියේ රෝගී වී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මානව ශාස්ත්‍ර පීඨයේ සිවුවැනි වසරේ සිසුවියක වූ ගිරාඳුරුකෝට්ටේ, දිවුලපැලැස්සේ ලක්මිණි  දිසානායක නමැති 23 හැවිරිදි සිසුවියකි.  ඊට පෙර මොනරාගල, බෝගහපැලැස්ස, බඩල් කුඹුර පදිංචි නිරෝෂණ ලක්මාල් නමැති  සමාජීය විද්‍යා  පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යායන අංශයේ හතර වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක් මියගියේය.

ගිරාඳුරුකෝට්ටේ, දිවුලපැලැස්සේ පදිංචි ලක්මිණි දිසානායක සිසුවිය එම පවුලේ දෙවැනි දරුවාය. ඇයට උපාධිය සම්පූර්ණ කිරීමට තවත් ඉතිරිව තිබුණේ මාස තුනක කාලයක් බව ඇගේ ඥාතීහු පවසති.බඩ රිදෙන බව පවසමින් ඇය පසුගිය 19 වැනිදා යෙහෙළියන් කිහිප දෙනකුට පවසා ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිරිබත්ගොඩ රෝහලට ගොස් ඇත. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ සුළු සැත්කමක් කිරීමට අවශ්‍ය බවයි.ඒ අනුව ඊට අදාළ පහසුකම්වලින් යුත් රාගම මහ රෝහල වෙත යොමු කර රෝහලේදී නියමිත සැත්කම සිදුකර අනතුරුව වාට්ටුවට ඇතුළත් කර ඇතැයි ඥාතීහු සඳහන් කරති.

එදින වෛද්‍ය උපදෙස් මත කිසියම් එන්නතක් ලබා දී ඇති අතර පසු දින හෙවත් මාර්තු 21 දිනයේදීත් එන්නතක් ලබා දී ඇත. ඉන්පසුව එනම් 21 වැනිදා ඇය මියගොස් ඇති බවත් දන්වා තිබේ.

ඇයගේ මෘත දේහය 23 වැනිදා දිවුලපැලැස්සේ නිවෙසට රැගෙන පැමිණි අතර ඒ සමගම තම සහෝදරියගේ අකල් වියෝවෙන් කම්පාවට පත්වූ සරසවි සිසු පිරිසක්ද පැමිණියහ.මියගිය ලක්මිණී සිසුවියගේ අවසාන කටයුතු දිවුලපැලැස්ස මහවැලි ගම්මාන පොදු සුසාන භූමියේදී ඊයේ 25 වැනිදා සිදු කරනු ලැබීය.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නංගර සිසු නේවාසිකාගාරයේ සිසුවකු පෙරේදා (24) රාත්‍රි හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්, කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මෙසේ මිය ගොස් ඇත්තේ මොනරාගල, බෝගහපැලැස්ස, බඩල්කුඹුර පදිංචි නිරෝෂණ ලක්මාල් නමැති සමාජ විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ හතර වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.එම සිසුවා පෙරේදා (24) රාත්‍රි හදිසියේ රෝගී වූ අවස්ථාවේදී රෝහල කරා ගෙන යෑම සඳහා වාහනයක් ලබා දෙන ලෙස ඉල්ලා පාලනාධිකාරියට දැන්වූ නමුත් පැය බාගයකට වැඩි කාලයක් ඒ සඳහා ගත වූ හෙයින් එම සිසුවා රෝහලට ගෙනයාම ප්‍රමාද වූ බවට චෝදනා එල්ලවෙයි.කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එම සිසුවා මියගොස් සිටි බවත්, කෙසේ නමුත් මීට විනාඩි කිහිපයකට පෙර රෝහලට රැගෙන පැමිණියේ නම් එම සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් තිබූ බව කිරිබත්ගොඩ රෝහලේ වෛද්‍යවරුන් පැවැසූ බව සිසුහු කියති.

පාලනාධිකාරිය වාහනයක් ලබාදීමට ප්‍රමාද වූ හෙයින් එම සිසුවා මිය යාමට හේතු වූ බව පවසමින් කැලණිය විශ්වවිද්‍යාල සිසුහු පිරිසක් ඊයේ (25) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව විශ්වවිද්‍යාලය ඉදිරිපිට දොරටු වසා දමා විශ්වවිද්‍යාලයේ මාර්ගය අසල රැඳී සිටිමින් විරෝධතාවක් පැවැත්වූහ. සිසුන් උප කුලපතිනිය සමඟ සාකච්ඡාවකින් පසුව සිසුහු දොරටු විවෘත කරමින් විරෝධතාව නතර කර අධ්‍යයන කටයුතුවල නිරත වූහ.කෙසේ නමුත් ඊයේ (25) උදෑසන සිට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ විභාග කටයුතු නිසි පරිදි සිදුවූ බව පාලනාධිකාරිය පවසයි..

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙසේ පැවැසුවාය.විශ්වවිද්‍යාලයේ සිසුන් පවසන පරිදි හදිසියේ රෝගී වූ සිසුවා රෝහලට ගෙනයාමට ප්‍රමාදයක් සිදුවුණා දැයි තහවුරු කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ උපදේශකවරුන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයේ තිදෙනකු පත්කර කඩිනම් විමර්ශනයක් ආරම්භ කළා. පරිපාලනය තුළ එසේ අතපසුවීමක් වෙලා තිබෙනවා නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පාලක සභාවට දන්වා තීරණයක් ගන්නවා. කන්නංගර සිසු නේවාසිකාගාරයේ සිසුවකු හදිසියේ රෝගී වී එම සිසුවා රෝහලකට ගෙන යෑම සඳහා වාහනයක් එවන්න යැයි කාර්ය මණ්ඩයට දන්වා තිබෙනවා.

ඒ අවස්ථාවේ 1990 සුව සැරිය ගිලන් රථයකුත් විශ්ව විද්‍යාලයේ වාහනයකුත් විශ්වවිද්‍යාලයෙන් පිටත පිහිටි කන්නන්ගර සිසු නේවාසිකාගාරය වෙත පිටත් කර තිබෙනවා.


කෙසේ නමුත් ශිෂ්‍යයන් ත්‍රිරෝද රථයකින් සිසුවා රෝහලට ගෙනයාමට කටයුතු කර තිබුණත් අතරමගදී විශ්වවිද්‍යාල වාහනයට නංවාගෙන රෝහල කරා රැගෙන ගොස් තිබෙනවා. එහෙත් ශිෂ්‍යයන් කියනවා රෝගී සිසුවා රෝහලට ගෙන යන්න ප්‍රමාදයක් සිදුවුණා කියලා. ඒ නිසා රෝගියා මියගියා කියා ඔවුන් පවසනවා. එය එසේමද වුණේ කියා තහවුරු කරගන්න විමර්ශනයක් ආරම්භ කළා. සතියක් ඇතුළත ඒ තීරණය අනුව ගත යු ක්‍රියාමාර්ග පිළිබඳ පාලක සභාවට දන්වා තීරණයක් ගන්නවා.


මෙම සිසුවා අවසන් වසරේ ඉගෙනීම ලැබූ සිසුවෙක්. ශිෂ්‍යයාගේ අභාවය පිළිබඳ මා කනගාටුවට පත්වෙනවා. මොනරාගල ප්‍රදේශයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක සිට පැමිණ ඉගෙන ගත් සිසුවෙක්. මවක් හැටියටත් දුකයි. සිසුවාගේ මවුපියන්ට අපට පුළුවන් විදියට උදවු කරනවා. මේ වන විට විද්‍යා පීඨයේ විභාග කටයුතු නිසි පරිදි සිදුවෙනවා. එයට බාධාවක් ඇති වී නැහැ. මම උදේම ශිෂ්‍යයන් සමඟ සාකච්ඡා කළා. ගේට්ටු වහගෙන ඉඳීමෙන් කාටවත් පලක් නැහැ කියලා සිසුන්ට කිව්වා. මින් ඉදිරියට මෙවැනි දේවල් සිදු නොවන අයුරින් කටයුතු කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා යයි නිලන්ති ද සිල්වා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

පුතාගේ අවසන් විභාගෙට කරන්න තිබුණ නිබන්ධනයේ වැඩ අවසන් කරගන්න කියලා ඇවිල්ලා ගියේ ඉකුත්  (22දා) රෑ පුතාගේ යාළුවෙක් ලොකු පුතාට කතා කරලා කියලා තිබුණා. මල්ලි අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළත් කළා කියලා. ඊට පස්සේ දැනගන්න ලැබුණා පුතා නැතිවුණා කියලා. දෙයියනේ අපිට හිතාගන්නවත් බෑ මොනවද මගේ පුතාට සිද්ධ වුණේ කියලා යැයි හදිසියේ මියගිය කැලණි විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන එච්.එම්. නිරෝෂන් නම් සරසවි තරුණයාගේ පියා වන එච්.එම්. සිරිසේන මහතා හැඬු කඳුළින් කියා සිටියේය. බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝගහ පැලැස්ස වසමේ කරමැටිය ගම්මානයේ පදිංචිව සිටි, නිරෝෂන් පවුලේ දෙවැනි දරුවා විය. 1999 නොවැම්බර් මස 10 දින මෙලොව එළිය දුටු නිරෝෂන් කුඩා කල සිට ඉගෙනීමෙහි දක්ෂයෙකු විය. නිරෝෂන්ට පවුලේ කවුරුත් ආදරේට කතා කළෙ සුද්දා යන ආදර වචනයෙනි. ගමේ ඕනෑම පොදු වැඩකටයුත්තකදී මෙන්ම ගමේ ලොකු කුඩා කාටත් ආදරෙන් කතාබහ කළ නිරෝෂන්ට ගමේ කවුරුත් බෙහෙවින් ආදරය කළේය. ඔහු කාගෙත් හිත දිනාගෙන සිටියේ ද ඒ නිසාය.නිරෝෂන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වූ අතර විශ්ව විද්‍යාල වරම් හිමිකරගත්තේ පළමු අවස්ථාවේදීමය.

තම පුතා, නිවසට පැමිණ ගිය අවසන් ගමන ගැන පවසන පියා මෙසේද කියා සිටියේය.අවසාන විභාගේ තියෙනවා කිව්වේ අප්‍රේල් මාසේ.කණ්ඩායමක් එක්ක කරන්න ව්‍යාපෘතියක් තියෙනවා කිව්වා. ඒක කරලා පොත භාරදීලා එනවා කියලා තමයි කිව්වේ මේ මාසේ අවසානේ නිවාඩු දෙනවා කියලා කිව්වා.පුතා මොන දේ කළත් එයාට හරියට පිළිවෙළට කරන්න ඕනේ අපි වුණත් හරියට කළේ නැත්නම් ඒකට කෑ ගහනවා. අපිට කිව්වෙත් කරන වැඩේ හරියට කරන්න කියලා.

එයා අවසන් නිබන්ධනය හැදුවෙත් මේ පැත්තේ ලුනුගල ජනපදය අරම්භ කිරීම, එහි විස්තර ගැන පොතක්. ඒකට ගොඩාක් මහන්සි වුණා. තොරතුරු හොයලා එක එක්කෙනා මුණ ගැහෙන්න ගිහිල්ලා වැඩේ හරියට කරන්න තමයි මහන්සි ගත්තේ. අවසන් වැඩ ටික කැම්පස් එකට ගිහින් කරනවා කියලා තමයි ගෙදරින් ගියේ.පුතාට කැම්පස් එකේ කවුරුත් ආදරෙයි. එයාට කැම්පස් එකේ හිටපු ඔක්කොම යාළුවෝ, කාත් එක්කවත් ආදර සම්බන්ධයක්වත් තිබුණා කියලා අපි දැනගෙන හිටයේ නෑ. එයා කියලා තිබුණෙත් නෑ. එයා නිතරම මුල් තැන දුන්නේ ඉගෙන ගන්න හොඳින් අධ්‍යාපනය අවසන් කරන්න.ගෙදරින් යන කොට පොඩි සෙම ගතියක් තිබුණට වෙන කිසිම අසනීපයක් පුතාට තිබුණේ නෑ. ඊයේ රෑ පුතාගේ බෝඩිම් කාමරේ හිටපු යාළුවෙක් තමයි විස්තරේ කිව්වේ. එක සැරේම එයාගේ ඇඟ ගල් ගැහිලා සීතල වෙලා බෙල්ල කඩාගෙන වැටුණා කියලා. වෙන දෙයක් කිව්වේ නෑ. එක සැරේම පුතාට මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා අපිට හිතාගන්න බෑ. දහදුක් විඳලා උගන්වලා අවසානේ පුතාගේ මරණ තමයි අපිට දකින්න සිද්ධ වුණේ යැයි පියා හඬමින් අප සමග කියා සිටියේය.

“මගේ දුවට සරසවියෙන් පිට වීමට තව ඉතිරිව තිබුණේ මාස තුනක් වැනි සුළු කාලයක්. අපි දුව ගැන ලොකු බලාපොරොත්තු තබා ගෙන සිටියා. දුවටත් අනාගත බලාපොරොත්තු රැසක්ම තිබුණා. අපේ හැම බලාපොරොත්තුවක්ම දුවගේ මේ ගමනත් එක්ක නැති වෙලා ගියා” යැයි ගිරාදුරුකෝට්ටේ මහවැලි කොට්ඨාසයේ දිවුලපැලැස්ස පොලිස් වසමේ පදිංචි, කැලණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි, 23 වියැති, ලක්මිණි දිසානායක නමැති, සරසවි ශිෂ්‍යාවගේ මරණය පිළිබඳව ඇයගේ පියා වන ගුණරත්න දිසානායක මහතා එසේ පැවැසීය.

බඩේ කැක්කුමකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලට ඇතුළත් කළ සරසවි සිසුවියක දින තුනකට පසු රෝහලේදී මිය යාමේ ඉතා ශෝචනීය සිද්ධියක් හේතුවෙන් මුළු මහවැලි ගම්මානයම කම්පාවට පත්ව සිටී.මෙසේ අකල් මරණයට පත්වූ තම එකම දියණියගේ හදිසි වියෝව පිළිබඳව දැඩි ශෝකයෙන් මෙන්ම විටින් ව්ට කඳුළු සලමින්, මියගිය ලක්මිණිගේ පියා වන ගුණරත්න දිසානායක මහතා මෙසේ පැවැසීය.

මෙම රැකියාවට කරන්නේ ගොවිතැන් වැඩ. පොඩි කුඹුරක් තමයි අපිට තියෙන්නේ. මමත් මගේ බිරිඳගේත් දැඩි උත්සාහයෙන් තමයි පවුල නඩත්තු කරගෙන යන්නේ. පවුලේ දරුවන් තුන්දෙනයි. මියගියේ පවුලේ දෙවැන්නා. ඇය කුඩා කල සිටම ඉගෙනුමට දක්ෂයි. සාමාන්‍ය පෙළ දක්වා ගමේ පාසලට ගියා.උසස් පෙළ සඳහා කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ගිරාඳුරු කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයට ගිහින් තමයි විශ්ව විද්‍යාලයට තේරුණේ.අපට වෙනත් ආදායම් මාර්ග නැහැ."මේ වන විට ඇය23 වියැතිය. උසස් අධ්‍යාපනය ලබමින් සිටියේ, කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ හතර වැනි වසරේ ශිෂ්‍යාවක් ලෙසිනි. මාර්තු 19 වැනිදා ඇය තමාගේ බඩ රිදෙන බව පවසමින් තම යෙහෙළියන් කිහිප දෙනකු ද සමග ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිරිබත්ගොඩ රෝහලට පැමිණි පසු, ඇය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, සුළු සැත්කමක් කිරීමට අවශ්‍ය බවයි.

ඒ අනුව, ඊට අදාළ පහසුකම්වලින් යුත් රාගම මහරෝහල වෙත යොමු කර තිබේ. එම රෝහලේදී නියමිත සැත්කම සිදුකර නේවාසික රෝගියකු වාට්ටුවට ඇතුළත් කර ඇත.එදින වෛද්‍ය උපදෙස් මත කිසියම් එන්නතක් ශරීර ගත කර ඇත. පසු දින හෙවත් මාර්තු 21 වැනිදාත් එන්නතක් ශරීර ගත කර තිබේ. ඉන් පසුව, එනම්, 21 වැනිදා දන්වා ඇත්තේ ඇය මිය ගොස් ඇති බවයි.මියගිය ලක්මිණි දියණියගේ මෘත දේහය ඉකුත් 23 වැනිදා ඇයගේ නිවෙස වෙත රැගෙන පැමිණි අතර, තම සහෝදර සිසුවියගේ අකල් වියෝවෙන් දැඩි ලෙසටම කම්පනයට පත් වූ සරසවි සිසු සිසුවියෝ කණ්ඩායමක් ද ඒ අතර වූහ. තම මිතුරිය පිළිබඳව පැවැසූ පරිදි සරසවියේ ආචාර්ය මණ්ඩලයේත්, සියලු සහෝදර සිසු සිසුවියන්ගේත් ආදරයට ලක් වෙමින් සිටි මෙවන් ලෙන්ගතු සහෝදරියක වෙන්ව යාම මවුපිය ඥාති මිත්‍රාදීන්ට ගම්වාසීන්ට මෙන්ම සරසවි සිසු අප සැමටමත් රටටත් සිදු වූ බලවත් පාඩුවක් බවත්, ඇයට නිවන් සුව ලැබේවායි සරසවි සිසුන් සමූහයම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන බවත්ය.



 (එස්.එස්.එස්. ගුණරත්න,වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)