
චීන ජාතික කාන්තාවකගේ අවුරුදු තුනක් වයස දියණිය කටුනායක ගුවන් තොටුපොළේ දී පෙරේදා (11) රාත්‍රියේ ලාංකික කාන්තාවකට වඩා ගැනීමට යැයි පවසා චීන ජාතික කාන්තාව ඇයගේ මවත් සමඟ අතුරුදන් වී ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය පවසයි.දරුවා වඩා ගැනීමට බාරදුන් චීන ජාතික කාන්තාව යළි නොපැමිණි නිසා ශ්‍රී ලාංකික කාන්තාව එම දරුවා ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට පැමිණ දරුවා පොලිසියට බාර දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක වන ශ්‍රී ලාංකික කාන්තාව චීනයට ගොස් ගෘහ සේවයේ යෙදෙමින් මෙම දරුවා වසර ගණනාවක් තිස්සේ බලාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම කාන්තාව යළි මෙරටට පැමිණ සිටිය දී සිඟිත්තියගේ චීන ජාතික මව ඇගේ නිවසේ ගෘහ සේවයේ යෙදුණු කාන්තාවට කතාකර දියණිය සහ මව සමග මෙරට සංචාරයක් සඳහා පැමිණෙන බව දැනුම් දී ඇත. ඒ නිසා කැඳවාගෙන යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස කල් තියා කර තිබූ දැනුම් දීමක් අනුව ලාංකික කාන්තාව ගුවන් තොටු පොළට ගොස් ඔවුන් පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිට ඇත.
දියණිය සහ මව ද කැටිව මෙම චීන ජාතික කාන්තාව පෙරේදා රාත්‍රී නවයයි තිහට පමණ ගුවන් තොටුපොළට පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි. ගුවන් තොටු පොළේ දී තුනක් වයස සිඟිත්තිය ශ්‍රී ලාංකික කාන්තාවට භාර දී කිසියම් අවශ්‍යතාවකට ගුවන් තොටුපොළ තුළට යන බව පවසා ජාතික කාන්තාව ඇයගේ මව සමග ගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
පැය කිහිපයක් බලා සිටියත් දෙදෙනාම නොපැමිණි නිසා ශ්‍රී ලාංකික කාන්තාව දරුවා ද කරපින්නා ගෙන පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.තම දරුවා භාර දී පලා ගිය එම දරුවාගේ චීන ජාතික මව සහ ඇය රටින් ගොස් නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා රටින් පලා යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ගුවන්තොටුපොළේ බලධාරීන් දැනුවත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.දරුවා ශ්‍රී ලාංකික කාන්තාව අතටපත් කර අතුරුදන්ව සිටින එම දරුවාගේ මව රාත්‍රී සමාජ ශාලාවල නළගනක ලෙස කටයුතු කරන තැනැත්තියක බව කියති. ශ්‍රී ලාංකික කාන්තාව මෙම චීන ජාතික සිඟිති දරුවා දරුකමට හදා ගැනීමට කැමැත්තකින් පසු වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval