food-price-hike

සුළු පරිමාණ ආපනශාලා හා අවන්හල් පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන නිසා එම ස්ථානවලින් අළෙවි කරන ප්ලේන්ට්, කිරි තේ, බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු හා කෙටි ආහාරවල මිල ඊයේ (03දා) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.



විදුලි ගාස්තුව හා ජල ගාස්තුව ඉහළ අගයක් ගැනීම නිසා හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා කුඩා පර්මාණ ආපනශාලාවලින් හා අවන්හල්වලින් 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් ගෙවීගිය වසරක පමණ කාලයක් තුළදී වැසී ගොස් තිබෙන බවත්, ඒවා තවදුරටත් වැසී යමින් තිබෙන බවත් එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේය.



වෙළෙඳ පොළ තුළ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190කට අළෙවි කළත් කොත්තු රොටි, පරාටා ඇතුළු කෙටි ආහාර සකස් කරන තිඟු පිටි කිලෝවක් රුපියල් 220ක් හෝ ඊට වැඩි මිලක් ගෙන තිබෙන බවත්, සතොස සීනි කිලෝවක් රුපියල් 275කට අළෙවි කළත් සාමාන්‍ය සිල්ලර වෙළෙඳ සැලක සීනි කිලෝවක් රුපියල් 310ක් හෝ 320ක මිලක් ගෙන තිබෙන බවද පැවසීය.

කීරි සම්බා සහල් කිලෝවකට රුපියල් 260ක පාලන මිලක පැවැතියත් එම මුදලට කීරි සම්බා මිලදී ගැනීමට නොමැති බවත් කීරි සම්බා කිලෝවක් රුපියල් 350ක් පමණ මිලක් ගෙන තිබෙන බවත් මේ ආකාරයට සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය.



මේ නිසා රුපියල් 30 හෝ ඊට ආසන්න මිලකට අළෙවි කරන ප්ලේන්ටියක මිල රුපියල් 05කිනුත්, රුපියල් 100කට අළෙවි කරන කිරි තේ එකක මිල රුපියල් රුපියල් 10කිනුත් රුපියල් 300ක් හෝ ඊට ආසන්න මුදලකට අළෙවි කරන බත් පාර්සලයක් රුපියල් 25කිනුත් හා රුපියල් 500ත් 700ත් අතර මිලකට අළෙවි කරන ෆ්‍රයිඩ් රයිස් හා කොත්තුවක මිල රුපියල් 50කිනුත් ඉහළ දමා තිබෙන බවද පැවසීය.

කොත්තු හා රයිස් ගතහොත් රුපියල් දහසකට වැඩි මුදලකට අළෙවි කරන ස්ථාන පවතින බවත්, මීට අමතරව ප්ලේන්ටි ගතහොත් රුපියල් 50ක් වැනි මිලකට අළෙවි කරන ස්ථාන පවතින බවත්, මේ ආකාරයට ඉහළ මිලකට අළෙවි කරන කිසිදු ආහාර ද්‍රව්‍යයක මිල ඉහළ දමා නොමැති බවද සඳහන් කළේය.


ඉන්දික හේවාවිතරණ