damitha-abeyratne-lenly-johnson-korea

ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රී බොරලැස්ගමුව, පැපිලියාන නිවෙසට ගිය ද ඔවුන් දෙදෙනා නිවසේ නොසිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත චෝදනා ගොනුකර තිබිණි.





ඔවුන් දෙදෙනාට එරෙහිව ආගමන විගමන පනත යටතේ වැරදි අනාවරණය වන බවත් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අධිකරණය හමුවේ පැවැසූ පරිගණක අපරාධ කොට්ඨාසය දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඉකුත් 20 වැනිදා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් ද විරුද්ධ වන බව සඳහන් කරමින් වැඩිදුර වාර්තාවක් එදින අධිකරණය වෙත ඉදිරිපත් කළේය.එසේ වුවත් දමිතා අබේරත්න යුවළ ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදු කර තිබූ ඉල්ලීමට අනුව ඊයේ (27) දිනය තෙක් කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

ඒ අනුව පෙත්සම ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති හෙයින් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලා ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් ප්‍රතික්ෂේප කළේය. පෙත්සම්කාර දමිතා අබේරත්න මහත්මිය විමර්ශන කටයුතු සඳහා පැමිණිල්ලට සහාය නොදී විමර්ශන කටයුතු මඟ හැර සිටීමත් පැමිණිල්ල සම්බන්ධයෙන් අගාමික විගාමික පනතේ 45 (ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීමත් හේතුවෙන් පෙත්සම්කරුවන්ට ඇප දීමට තමන්ට බලයක් නැතැයි අපේක්ෂිත ඇප අයැදුම් ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.



කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ අවදානමක් ඇති හෙයින් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කාර යුවළ මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත් ඉදිරිපත් කර තිබිණිපෙත්සම් කැඳවූ අවස්ථාවේ දී නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක මෙන්ම දේශපාලනයේ නිරත වන්නියකවීම හේතුවෙන් දමිතා අබේරත්න මහත්මියට අපකීර්තියක් කිරීමට මෙම පැමිණිල්ල කර ඇතැයි කීය.

කිසිදු සාධකයක් නොමැතිව තම සේවාදායකයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් අගාමික විගාමික පනත යටතේ කරුණු වාර්තා කර ඇතැයි ද එම කරුණු දැක්වීම් වැරදි සහගත හෙයින් එම කොටස අවලංගු කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සම් දෙකක් ගොනු කර ඇතැයි ද කී නීතිඥ අජිත් පතිරණ මහතා එම රිට් පෙත්සම් ලබන 2 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවත් කීය.වගඋත්තරකාර රහස් පොලිස් නිලධාරීන් කරුණු දක්වමින් වෙනත් නඩු සඳහා පෙත්සම්කාරිය ඇප මත සිටියදී මෙම සිද්ධියට අදාළ විමර්ශනය සඳහා ඇය දිගින් දිගටම සහය දක්වා නැතැයි දැනුම් දී තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අපේක්ෂිත ඇප අයැදුම් ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම්කාර යුවළ වෙනුවෙන් නීතිඥවරුන් වන තරිඳු වික්‍රමනායක, හිමාෂ ප්‍රනාන්දු, අස්තික දේවේන්ද්‍ර, හරිත් හෙට්ටිආරච්චි මහත්වරුන් සමඟ නීතිඥ අජිත් පතිරණ පෙනී සිටියේය.ඊයේ (27) ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලුම්පත මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කිරීමත් සමගම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම එම නිවස වෙත ගොස් තිබිණි.ඔවුන් දෙදෙනා නිවෙසේ නොමැති බවත් දමිතා අබේරත්න මහත්මියගේ මව පමණක් නිවෙසේ සිට ඇති බවත් එනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවෙස ආසන්නයේ ඊයේ (27) රැඳී සිට ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ