A-drunken-party-brought-by-prostitutes-to-the-university-students-birthday

හෝමාගම ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක දී කාන්තා දිනය දා මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 27 දෙනකුගෙන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි බව කියන තරුණයන් පස්දෙනකු සහ මුදලට පැමිණි බවට සැකකරන තරුණියන් තිදෙනකු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් හය දෙනකු මෙම 14 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් ඉෂාරා ජයකොඩි මහත්මිය නියෝග කළාය.රිමාන්ඩ් බාරයට පත්වූ අය අතර සරසවි සිසුවකු ද සිටින බව පොලිසිය කීය. හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි බව කියන තරුණයන් දෙදෙනකු ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය. රක්ෂිත බන්ධනාගාරගත කළ කාන්තාවන් තිදෙනාට සමාජ රෝග වැළඳී ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.



දියතලාව ප්‍රදේශයේ පදිංචි තරුණයකු පෞද්ගලික සරසවියක අධ්‍යාපනය සඳහා හෝමාගම ප්‍රදේශයට පැමිණ මහල් නිවාස සංකීර්ණයකින් රුපියල් 45,000 කුලී පදනම මත නිවසක් ලබාගෙන, එහි නවාතැන් ගනිමින් ඔහුගේ 22 වැනි ජන්ම දින සැමරුම සඳහා මිතුරු මිතුරියන් රැසකට නිවෙසට පැමිණෙන ලෙසට මුහුණු පොත හරහා ආරාධනා කර ඇත.ඒ අනුව, පොළොන්නරුව, බලපිටිය, හික්කඩුව, දෙහි අඅත්තකණ්ඩිය, අලුත්වැව, අලුත්ගම, ජාඇළ, යක්කලමුල්ල, ගොඩකවෙල, බොරැල්ල, බොරලැස්ගමුව, ගාල්ල, අම්බලන්ගොඩ, දියතලාව, රත්නපුර. බූස්ස, මහරගම සහ හෝමාගම ඇතුළු ප්‍රදේශවල සිට පැමිණි අවුරුදු 22 ත් 28 ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම සාදයට සහභාගී වී සිටි බව පොලිසිය කියයි.

ඔවුන්ට සැලකීම සඳහා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය හා මත්පැන් මෙන්ම වෛශ්‍යාවන් තිදෙනකුද එහි ගෙන්වා තිබූ බව පොලිසිය පවසයි.මෙම සාදය දවස පුරා පවත්වා ඇත. සවස් කාලයේදී මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට  බාධාවන අන්දමින් පවත්වාගෙන යෑම නිසා,

ඒ සම්බන්ධයෙන් උරණ වූ යාබද නිවැසියන් මේ පිළිබඳව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් දන්වා ඇත.ඒ අනුව නිලධාරී කණ්ඩායමක්  එම ස්ථානයට යවා නිවෙස වටලා පිරිස අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගැනුණ පිරිසේ තරුණයන් 21 දෙනකු සහ තරුණියන් 8 දෙනකු සිටි බවත් ඉන් සරසවි සිසුවියන් පස් දෙනකු හා සිසුන් 12 දෙනකු සිටි බවත් පොලිසිය

කියයි.සරසවි සිසුවියන් දෙදෙනකු, එකම පවුලේ අක්ක නගෝ බවත් ඔවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට සැක කෙරෙන බවත් පොලිසිය කියයි.ඔවුන් කොකේන්, අයිස්, කේරළ ගංජා, හෙරොයින්, හෑෂ්, මෝදක, මත්පැති හා මත්පැන් වැනි දෑ පානය කරන්නට ඇති බවට පොලිසිය සැක කරන බවත්, එහි තිබි උපත් පාලන කොපු කිහිපයක්ද පොලිස් භාරයට ගත් බවත් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙක් පැවසීය.හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 20ක්ද, මත් පෙති 03 ක් ද, ජංගම දුරකතන 03 සමග වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.



මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන ගාල්ල ප්‍රදේශයේ සිට තිදෙනකු මෙම ස්ථානයට මත්ද්‍රව්‍ය රැගෙන බවට තොරතුරු අනාවරණය වී ඇත. සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය පිළිබඳව  සොයා වෙනම විමර්ශනයක් පැවැත් වේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 23 දෙනකු හෝමාගම විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර මත්ද්‍රව්‍ය පානය කර සිටියේදැයි පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මවුපියන් පොලිසියට කැඳවා, තරයේ අවවාද කර බාරදීමට පියවර ගෙන ඇත.සෙසු සැකකරුවන් අතරින් අයාලේ යාමේ චෝදනාව යටතේ කාන්තාවන් තිදෙනකු හා මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ සැකකරුවන් තිදෙනකු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දෙදෙනකු ඇප මත නිදහස් කර සෙසු සැකකරුවන් සිවුදෙනා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් ඉෂාරා ජයකොඩි මහත්මිය නියෝග කළාය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ