sanath-nishantha-death-updates

 හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියගියේ පසුගිය 25 වනදා පාන්දරය. ඒ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ අනපේක්ෂිත අනතුරකිනි.48 හැවිරිදි රාජ්‍ය ඇමතිවරයා දේශපාලනික වශයෙන් අතිශය කථාබහට ලක්ව සිටි වාකවානුවක හදිසියේ මරණයට පත්වීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය.
ඒ දිනවල ඔහුගේ මරණය සැක බවට ඇතැම් කාරණා සමාජ ජාලා ඔස්සේ සාකච්ඡාවට බඳුන්ව තිබිණි.

සිද්ධියෙන් දිවි ගළවාගත් වාහනය පැදවූ රියදුරු අත්අඩංගුවට පත්වූ නමුත් සති කිහිපයක්ම සිටියේ රෝහල්ගතවය. කෙසේ වෙතත් ඔහු මීට දින දෙකකට පෙර උසාවියට පැමිණ තමන් සිදුකළ අනතුර ගැන පැහැදිලි කිරීමක් කළේය. නීතියේ සීමාව ඉක්මවා අධික වේගයෙන් රථ පැදවීම හා මරණ දෙකක් සිදුකළ අනතුරක් වුවත් ඔහුට එදින කථාවෙන් පසු උසාවියේ ඇප ලැබිණි.
ඔහු ඇප ලබාගෙන එළියට ආ පසුව සනත් නිහාන්ත මහතාගේ නීතීඥ බිරිය දැන් නැවත නීතියේ පිහිට සොයන්නේ මරණයේ සැකයක් මතු කරමිනි. ඇය මෙය ඝාතනයක් විය හැකි බවට අනුමාන කර තිබේ.


තම සැමියාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින්  අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් බදාදා (7) දින තමා සිදුකළ බව චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පැවසුවාය.
එම පැමිණිල්ලේ තමන්ට සැක යයි සිතෙන කාරණා කිහිපයක් සටහන් කරන ලද බවත් ඒ ගැන සොයා බලන්නැයි ඉල්ලා සිටි බවත් පිටු පහක පමණ  ප්‍රමාණයකින් යුත්  විස්තර ඇතුළත්  කර එකී පැමිණිල්ල සිදුකළ බවත් නීතිඥවරිය වැඩිදුරටත් පැවසුවාය.

මියගිය රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් මස (24) හලාවත  බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා පැමිණෙමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක  පිටුපස ගැටී අනතුරුව  ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුවී තිබිණි.
මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා ඇප මත මුදාහැරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය.

හලාවත සිට පැය 1 1/2ක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත මහතා පනවා තිබු නියෝගයක් හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබු බව කියමින් සනත් නිශාන්ත මහතාගේ රියදුරා වෙනුවෙන් නීතීඥ තමරා අබේරත්න මහත්මිය කළ ඇප ඉල්ලීම පිළිගනිමින් රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ රියදුරු බලපත්‍රය යළි නියෝගයක් කරනතුරු අත්හිටුවීමටද නියම කර තිබේ.

මෙලෙස ඇප මත මුදාහැරීට නියම කරන ලද්දේ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තාය.



සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරු හා අදාළ වී-8 වර්ගයේ රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා කඳාන පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර මුල් අවස්ථාවේදීම නිරෝෂන් දසනායක නමැත්තා ඇප මත මුදා හළ මහෙස්ත්‍රාත්වරයා නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබිණි.
රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තමරා අබේරත්න මහත්මිය කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම සිද්ධියේදී මියගිය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් වසර 12ක පමණ කාලයක් සේවය කරන ඔහුට අතිශය හිතැත්තෙකු බවත් සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයාද දැඩි කම්පාවට පත්ව සිටින්නේ යැයිද කීවාය.

සනත් නිශාන්ත මහතාගේ රියදුරන් වශයෙන් තම සේවාදායකයාට අමතරව තවත් අයෙකු කටයුතු කළ බවත් සිද්ධිය වු දින කුරුණෑගල හා හලාවත සාද දෙකකට සහභාගී වු ඔහු රාත්‍රීයේ යළි කොළඹ යෑම දැඩි වෙහෙසකර කටයුත්තක් වන හෙයින් අනිත් රියදුරුට රථය බාරදීමේ අරමුණීන් ඔහුට හලාවතට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණ නොසිටීම හේතූවෙන් තම සේවාදායකයාටම රථය පදවාගෙන කොළඹ පැමිණීමට සිදුවුයේ යැයිද කී නීතීඥ තමරා අබේරත්න මහත්මිය හලාවත සිට පැය 1 1/2ක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත මහතා පනවා තිබු නියෝගයක් හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබුණේ යැයිද සඳහන් කළාය.



සමාජ මාධ්‍ය වල සැරිසරන පුද්ගලයින් කට වාචාල කමට යම් යම් දුෂමාණ ප්‍රචාර පැතිරවුවත් සනත් නිශාන්ත මහතාගේ පවුලේ උදවියත් තම සේවාදායකයාට සිදුවී ඇති තත්වය පිළිබඳ කම්පාවට පත්ව ඇතැයිද පාසැල හැරගිය දිනයේ සිට සනත් නිශාන්ත මහතා ලඟ සේවය කරන ඔහුට බෙහෝ හිතැති තම සේවාදායකයා ඔහුගේ අතිශය පෞද්ගලික කරුණු පවා දන්නේ යැයිද කී නීතීඥ තමරා අබේරත්න මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පැමිණීල්ල යළි කැඳවන ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියම කර තිබේ.