ruhunu-kumari-train-incident

රුහුණු කුමාරි දුම්රියේදී හදුනාගත් ගාල්ලේ ව්‍යාපාරිකයකුට බත් කටවල් තුනක් කන්න දී දවස් දෙකක් නිදිකර තබා ඔහු සතු මැණිකක් කොල්ල කෑ බව කියන මහරගම කාන්තාවක ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

ව්‍යාපාරිකයන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන්ට මත් ආහාර දී මෙවන් කොල්ලකෑම් රැසක් කර ඇති සැකකාරිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කරන බව කියමින් පෑලියගොඩ පොලිසියේ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කළේය.

පුද්ගලයන් මත්කර ඔවුන්ගේ දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයෙන් ඇප මත සිටියදී අපරාධ වැලක් කළැයි කියමින් අධිකරණයට ඉදිරිපත් කෙරුණ බෝපගේ නාලිකා ප්‍රියදර්ශනී නමැත්තිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන් අපරාධ මූලස්ථානය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ජයලත් මහතා මෙම සිද්ධියේ පැමිණිලිකාර ව්‍යාපාරිකයා රුහුණු කුමාරි දුම්රියේ ගමන් කරමින් සිටිය දී ගාල්ල අහංගම ප්‍රදේශයේ දී දැන හඳුනාගෙන ඇතැයි ද පසුව සැකකාරිය

ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ තානායමකට ගෙන්වාගෙන ඇතැයි ද දැනුම් දුන්නේය.සැකකාරිය තානායමේ දී ව්‍යාපාරිකයාට බත් කටවල් තුනක් කවා ඇතැයි ඉන් සිහිසුන් වූ ඔහු යළි පියවි සිහියට පැමිණ ඇත්තේ දින දෙකකට පසුව යැයිද ද දැනුම් දුන් පොලිස් පරීක්ෂක ජයලත් මහතා සිද්ධියෙන් දින කීපයකට පසු ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලදී සැකකාරිය අත්අඩංගුවට ගත්තේ යැයි ද දැනුම් දුන්නේය.

සැකකාරිය අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවල දී පුද්ගලයන් මත්කර කොල්ලකෑම සම්බන්ධයෙන් ඇය පළපුරුදුකාරියක බවත් මීට පෙර අවස්ථා ගණනාවක දී ඇය විවිධ තරාතිරම්වල අය රවටා විවිධ ස්ථානවලට ගෙන ගොස් ඔවුන්ට මත් බෙහෙත් යෙදූ කෑම බීම දී ඔවුන් මත්කර කොල්ලකෑම් විශාල ප්‍රමාණයක් කර ඇතැයි කී පොලිස් පරීක්ෂක ජයලත් මහතා සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වූ තොරතුරුවලට අනුව සැකකාරිය විසින් කොල්ලකන ලදැයි කියන වළලු,

මුදු ඇතුළු රන් ආභරණ විස්සක් පමණ සොයාගෙන ඇතැයිද දැනුම් දුන්නේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාරිය රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල යළි කැඳවන ලබන 06 වැනිදා සිද්ධියට අදාළව කෙරුණ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළේය.
රෝෂාන් තුෂාර