maharagama-incident

මහරගම සුප්‍රසිද්ධ නිම්  ඇඳුම් ප්‍රදර්ශනාගාරයක අලුත්වැඩියාවක නියැළෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මතට කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටී සිදුවූ අනතුරින් එක් පුද්ගලයකු පෙරේදා (27දා) මියගොස් ඇතැයි මහරගම පොලීසිය පවසයි.හෝමාගම ගැමුණු මාවත පදිංචි සුදත් මාරඹගේ (45) නමැති ඉදිකිරීම් කටයුත්ත කොන්ත්‍රාත් ලබා ගත් පෙදරේරුවකු බව පොලීසිය කියයි.



මොහු තවත් කම්කරුවෙකු සමග පැමිණ මෙම නිම්ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ අලුත්වැඩියාවක් සිදු කරන අතරතුරදී එහි තිබූ ජනේලයක් ඉවත් කිරීමට බිත්තියක කොටසක් කඩා ඉවත් කරමින් සිටියදී ඊට ඉහළින් තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් මෙසේ පෙදරේරුවාගේ සහ කම්කරුවාගේ සිරුර මතට වැටී ඊට යට වී අනතුරට ලක්ව තිබිණි. සිද්ධියත් සමග ආයතනයේ සේවකයන් විසින් කඩිනමින් ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් පෙදරේරුවා මෙසේ මියගොස් තිබේ.


අනතුරට පත් කම්කරුවාගේ පාදයක් බිඳී ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවත් ඔහු ශල්‍යකර්මයකට යොමු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.