
හික්කඩුව වෙරළ තීරයෙන් මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී මුහුදේ ගසාගෙන යමින් සිටි විදෙස් සංචාරකයන් සිව්දෙනෙකු බේරා ගැනීමට හික්කඩුව පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීහු ඊයේ (21දා) සමත් වූහ.
මුහුදේ ගසාගෙන ගොස් ජීවිතයත් මරණයත් අතර සිටි කාන්තාවන් තිදෙනෙක් හා එක් පිරිමි අයෙක් මෙසේ බේරා ගැනීමට එම නිලධාරීහු සමත්ව ඇත.
අවස්ථා තුනකදී මේ බේරා ගැනීම සිදුවී ඇති අතර එහිදී එක් අවස්ථාවකදී විදෙස් කාන්තාවන් දෙදෙනෙක්ද අනෙක් අවස්ථා දෙකේදීම එක් විදෙස් කාන්තාවක් සහ පිරිමි අයෙක් මෙසේ බේරාගෙන තිබේ.
හික්කඩුව පන්නන්ගොඩ මුහුදු තීරයෙන් මුහුදේ නාමින් සිටියදී මේ විදෙස් ජාතිකයන් සිවුදෙනා ඊයේ (21දා) දහවල් පැයක් ඇතුළත මෙසේ බේරාගෙන ඇති අතර මෙසේ බේරා ගැනුනේ ඔස්ට්‍රියා ජාතිකයෙක් සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනෙකි.
හික්කඩුව පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් වන උපපොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල්වරුන් වන චතුරංග,බණ්ඩාර යන නිලධාරීන් විසින් මොවුන් බේරා ගෙන තිබිණි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
Comments
Post a Comment
Your comment will be visible after approval