health-advice-school-students

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදේශන මාලාවක් නිකුත් කර ඇත.

එම උපදේශන මාලාවට අනුව අධික උෂ්ණත්වයක් සහිත දිනවල සිසුන් එළිමහනේ සහ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකී සිටිය යුතුය.



මීට අමතරව සිසුන් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම සහ ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු අතර වැඩිපුර ජලය පානය කිරීමට සහ ඔවුන්ගේ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩා සුදුසු බවද එම උපදේශන මාලාවේ සඳහන්වේ.



පාසල් සිසුන් දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේදී සහ අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පන්ති කාමරයෙන් පිටතට ගෙන යාමෙන් වැළකිය යුතු අතර අධික උෂ්ණත්ව සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බවද එම උපදේශන මාලාවේ සඳහන්වේ.

තවද සිසුන්ට අවශ්‍ය තරම් බීමට ජලය සැපයීම හා වැඩිපුර පිරිසුදු ජලය පානය කිරීම සඳහා ඔවුන් යොමු කිරීම කළ යුතු අතර පාසලේ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති නම් ඒ සඳහා විකල්ප ක්‍රම යොදා ගත යුතු බවද එම උපදේශන මාලාවේ සඳහන්වේ.

පාසල් පන්ති කාමරවලට හොඳින් වාතාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් විවෘතව තැබීම අවශ්‍ය වන අතර විදුලි පංකා භාවිතා කරන්නේ නම් පිරිසුදු වාතාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් අනිවාර්යයෙන්ම විවෘත කළ යුතු බවද තට්ටු ගොඩනැගිලි, ටකරන් වහල සහිත අධික උෂ්ණත්වයක් ඇති ගොඩනැගිලි වල තිබෙන පන්ති කාමර සුදුසු වෙනත් තාවකාලික ස්ථානවලට රැගෙන යායුතු බවද උපදේශ මාලාවේ සඳහන් වේ.

දහදිය දැමීම නිසා ඇතිවෙන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස් පිඩු පෙරළීම සහ අධික උෂ්ණත්වය මත ඇතිවන අධික මහන්සිය,

අධික දහඩිය දැමීම, ශරීරයේ අප්‍රාණික බව සහ ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් එම සිසුන් වහාම සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත්කොට සිසිල් ස්ථානයක තබා විවේක ගැන්වීමට සැලැස්විය යුතු බවද එහි සඳහන් වේ.

සෑම සිසුවකුම විනාඩි පහළොවකට වරක් වතුර වීදුරු භාගය බැගින් පානය කිරීම සුදුසු බවද උපදේශන මාලාවේ සඳහන්වේ.

අධික උෂ්ණත්වය නිසා සිසුන් බොහෝ සේ ගිලන් වන්නේ නම් එවැනි අවස්ථාවකදී ඔවුන් සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් කොට සිසිල් ස්ථානයක විවේක ගැන්වීමට සලස්වා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට ලබා දී 1990 සුවසැරිය ගෙන්වා රෝහල්ගත කළ යුතු බවද උපදේශන මාලාවේ සඳහන්වේ.


රංජන් කස්තුරි