අසල්වැසි නිවසේ බළලාට පොහොය දවසේ දී මැරෙනතුරු පොල්ලෙන් පහරදුන් බව කියන සැකකරුගේ මොළේ පරික්ෂා කරගෙන එම මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (28) නියම කළේය.මොළේ ආබාධයක් නැති අයෙකුට සතකුට මැරෙනතුරු පහර දීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින් සැකකරුගේ මොළේ පරික්ෂා කර ගැනීම ඔහුට පැවරු මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.  මොළේ පරීක්ෂා කරගැනීම ඔහුටම පවරමින් මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ රාගම තේවත්තේ පදිංචි අතුල කීර්තිරත්න නමැත්තෙකි. ‘සතුන් සහ සොබා දහම සඳහා යුක්තිය’ ස

ංවිධානය රාගම පොලිසියට කළ  පැමිණිල්ලක විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු රාගම පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන් රාගම පොලිසියේ කොස්තාපල් මහින්ද මහතා සැකකරු රාගම තේවත්තේ පදිංචිකරුවකු බවත් ඔහුගේ අසල්වැසි නිවසේ පදිංචි සචිනි මිහිරංගි නමැත්තියගේ නිවසේ සුරතලයට ඇති කළ බළලා පසුගිය 23 වැනිදා උදේ කාලයේ නිවසින් අතුරුදන්ව ඇති බවත් බළලා පිළිබඳ සෙවීමේදී අසල්වැසි නිවසේ පදිංචි අතුල නමැති සැකකරුගේ නිවස දෙසින් ‘කැවුම් දෙන්නම්' කියමින් සතකුට පහර දෙන අයුරු ඇසී අපේ පූසාට ද ගැහැව්වේ කියා විමසූ විට 'නැහැ කළු පූසාට ගැහුවේ' යනුවෙන් පවසා ඇතැයි ද කීය.

පසුව සොයා බැලීමේ දී සචිනි මිහිරංගි නමැත්තියගේ නිවසේ සුරතලයට ඇති කළ බළලාට සැකකරු පහර දී මරා දමා ඇති බව සොයාගෙන ඇතැයි කී කොස්තාපල් මහින්ද මහතා විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත්තේ යැයි ද කීය.‘සතුන් සහ සොබා දහම සඳහා යුක්තිය’ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෞම්‍ය පෙරේරා මහතා කරුණු දක්වමින් සැකකරු සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත

යටතේ වරදක් කර ඇතැයි සතුන්ට හිංසා කරන මෙවැනි පුද්ගලයන්ට දැඩි පියවර ගන්නැයි ඉල්ලා සිටියේය.

සැකකරු  වෙනුවෙන් පෙනී  සිටි නීතිඥ හිලේරියන් ගුණවර්ධන මහතා කරුණු දක්වමින් අහිංසකයකු වන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ක් වටිනා ඇපකරුවකුගේ ශරීර ඇපයක් මත සැකකරු මුදාහල මහේස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් අනතුරුව රාගම රෝහලේ මානසික වෛද්‍ය අංශයට ගොස් තමන්ගේ මානසික තත්වය පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ලබන අප්‍රේල් 5 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරිමට සැකකරුට නියම කළේය.
මනෝප්‍රිය ගුණසේකර