The-Sri-Lankan-who-shot-the-delivery-girl-late-to-Kuwait-Embassy

කුවෙට් රාජ්‍යයේ ආහාර ඇණවුම් බෙදාහැරීමේ නිරත වී සිටි ශ්‍රී ලාංකිකයෙකුට එරට නිවැසියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් අනතුරුව, ඔහුගේ ජීවිත ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ඔහුව මේ වනවිට කුවෙට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙනවිත් ඇති බව එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර මහතා ඊයේ (26දා) පැවසීය.



එසේ වෙඩි ප්‍රහාරයට ලක්වූයේ කේ.පී සාගර ලක්ෂ්මන් නමැති 44 හැවිරිදි වියේ පසුවන රාජාංගණය යාය 11 ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.ඔහු කුවෙට් රාජ්‍යයේ ප්‍රසිද්ධ අවන්හලක ආහාර නිවෙස් කරා ප්‍රවාහනය කරන වෘත්තියක නියැළී සිටි අතර,ඉකුත් 2024 ජනවාරි මස 10 දින අලුයම 04.00 ට පමණ සිය ආහාර ඇණවුම ප්‍රමාද වූවා යැයි උරණ වූ කුවෙට්  ජාතිකයෙකු විසින් සාගර ලක්ෂ්මන් මහතාට වෙඩි තබා තිබුණි.

කුවෙට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ පිළිබඳ එරට අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකදී එසේ වෙඩි තැබූ කුවෙට් ජාතිකයා හඳුනා ගෙන තිබූ අතර, ඔහු මේ වනවිට එරට අධිකරණය මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද ජනක සමරසේකර මහතා පැවසීය.

එහෙත් තවදුරටත් සාගර ලක්ෂ්මන් මහතා එරට විවෘත පරිසරයක වාසය කිරීම ඔහුගේ ජීවිතය අවදානමකට ලක් විය හැකි බැවින්  ඉකුත් 19දා සිට

ඔහුට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ වාසය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනක සමරසේකර මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳ නඩු විභාගය කඩිනමින් අවසන් කර, සාගර ලක්ෂ්මන් මහතාට මෙම අනතුර සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දී ඉක්මනින් ශ්‍රී ලංකාවට එවීම සඳහා කුවෙට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම් මහතාගේ අධීක්ෂණය යටතේ තෙවන ලේකම් ජනක සමරසේකර සහ භාෂා පරිවර්තක අමීර් හසන් යන මහත්වරුන් පියවර ගනිමින් සිටිති.


කටුනායක - ටී.කේ.ජී.කපිල