telecom-fraud
ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු සොයා බැලීම සදහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවකින් රුපියල් කෝටි 130 ක් වෙන්කර ඇති හෙයින් එම මුදල් වියදම් කළ ආකාරය ගැන සභාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (12) පැවසීය.




එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයා සඳහා අතිරේක වියදම් ලෙස කෝටි විස්සක් විදේශ සංචාර ඉන්ධන සහ වාහන නඩත්තුව සඳහා වෙන්කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා පළමුවෙන්ම මූල්‍ය විනය රැකිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තමා දන්නා අන්දමට එංගලන්තයට හතර පාරක්ද ජපානයට දෙපාරක් ඔහු ගොස් ඇතැයි සඳහන් කළේය.

දැන් ඔහු දින දොළහක දීර්ඝම සංචාරයට සූදානම් වන බවද දිසානායක මහතා කීවේය.

පාසල් දරුවන්ගේ ආහාර වේල් සඳහා නිල ඇඳුම සඳහා මුදල් තවම දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට මේ මුදල වෙන්කර ඇත්තේ අයවැයෙන් වෙන් කළ මුදලට අමතර වශයෙන් බවද ප්‍රකාශ කළේය.



මෙතුමා නඩත්තු කළ යුතු කෙනෙක් දැයි ඔහු ප්‍රශ්න කළේය.

හාල් ටිකට, කිරි වීදුරුවට වැට් ගහලා එකතු කරගන්න මුදල ජනාධිපතිවරයා රට සවාරි යෑමට යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට එනකොට ගිලන් රථයක් පසුපස එන බවත් ඔහු ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමේ සිට පාර්ලිමේන්තුවට එද්දී ගිලන් රථයක් පසුපසින් එන බවද සමහර රෝහල්වලට ගිලන් රථ නැති බවද ප්‍රකාශ කළේය.

මේවා ලෙඩ කදන් දැයි ඔහු ප්‍රශ්න කළේය.

මේවා මහජනතාවගේ ධනය බවත් බදු මුදල් වලට වෙන දේ පාරේ ජනතාව දකින ව්‍යාපාරිකයන් දකින බවද අනුර කුමාර දිසානායක මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ගෙදරක සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා පුතත් ආණ්ඩුවේ ගෙදරක තාත්තත් ආණ්ඩුවේ ගෙදරක බාප්පත් ආණ්ඩුවෙ ගෙදරක පොඩි බාප්පත් ආණ්ඩුවෙ ගෙදරක යයිද ඔහු කීවේය.



මේ ගැන ලැජ්ජා විය යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.

සමහරු ඇවිදින්න බැරුව ඉඳිද්දී රෑට රෑට වරායේ නිරීක්ෂණ චාරිකා යන බව පැවසූ දිසානායක මහතා රෑට යන නිරීක්ෂණ චාරිකා මොනවාදැයි තමා දන්නා බවද සඳහන් කළේය.

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න