ruwan-prasanna-gunaratne-mystery

 ආගමික දේශන පවත්වා මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ තවත් අනුගාමිකයකු බව කියන පුද්ගලයකු වස පානය කර ඇතැයි සිරිපුර පොලිසිය කියයි. දිඹුලාගල, සිරිපුර, පළුදෙණිය ප්‍රදේශයේ පදිංචි සසිඳු අමල්ක විමලරත්න නමැති 26 හැවිරිදි එක්දරු පියකු එලෙස වස පානය කර ඇතැයිද ඔහු අසාධ්‍ය තත්වයෙන් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසූරිය මහතා පැවැසීය.





ඔහු සිය බිරිඳ සහ නුවරගල ප්‍රදේශයේ තවත් පුද්ගලයන් පස් දෙනෙකු සමඟ රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වී ඇතැයි අනාවරණය වූ බව ද පොලිස් ස්ථානාධිපතිවරයා කීය.මේ අතර දේශන පැවැත්වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලියට සිට ඇති බව ද පරීක්ෂණවලින් තහවුරුව ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසූරිය මහතා අප කළ විමසීමකදී පැවසීය.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් 28 වැනිදා කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක් භාවිත කර සියදිවි හානි කරගෙන තිබූ අතර ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා එලෙසම සියදිවි හානිකරගෙන තිබිණි.ආගමික දර්ශනවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සහභාගි වූ කිහිප දෙනකු පොළොන්නරුව ප්‍රදේශ කිහිපයක සිටින බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් ඇති බව ද ආරක්ෂක බුද්ධි අංශ කියයි.



ආගම පිළිබඳව දර්ශනවාදී දේශන පවත්වා කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර මියගිය දේශකයාගේත් ඔහුගේ බිරිය ඇතුළු වස පානය කර මියගිය 6 දෙනාගේත් සිරුරු කොටස් සහ පානය කළ වස වර්ගයන්හි සාම්පල් අධිකරණ මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයාට යවා වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

එම සිරුරු කොටස් සහ විෂ සාම්පල්වලින් ලබාගන්නා වාර්තාව අනුව එම විෂ ද්‍රව්‍ය සයනයිඩ් ද නැතිනම් වෙනත් වස වර්ගයක් ද යන්න තහවුරු කරගැනීමට හැකිවනු ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.ආගම පිළිබඳ දර්ශනවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා පැවැත්වූ දේශනවලට සහභාගිවූ පුද්ගලයන් පිළිබඳව හඳුනාගැනීමේ පරීක්ෂණ කරන බව ද නිහාල් තල්දූව මහතා කීය.



ආගම පිළිබඳ දර්ශනවාදී දේශන පැවැත්වූ පුද්ගලයා ඉකුත් 28 වැනිදා කොට්ටාව මහල් නිවාසයක දී වස පානය කර මියයාමෙන් පසු ඔහුගේ දේහය මාලාබේ ප්‍රදේශයේ මියගිය පුද්ගලයාගේ සහෝදරයකුගේ නිවසට රැගෙනවිත් අවසන් කටයුතු කිරීමෙන් අනතුරුව එදින රාත්‍රියේදී ඔහුගේ බිරිය දරුවන් තිදෙනාටද වස පොවා ඇයද වස පානය කර මිය ගියාය.පසුව රුවන් ප්‍රසන්න නමැත්තාගේ දේශනවලට සහභාගි වූ බව කියන යක්කල ප්‍රදේශයේ තරුණියක සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයෙක්ද ඒ ආකාරයෙන්ම වස පානය කර මියගියහ.