dudly-sirisena-kelaniya-university

කැළණිය විශ්ව විද්‍යාලයේ දේශනයකට සහභාගි වූ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට ඊයේ  එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගෙන් විරෝධය එල්ලවූ බව වාර්තා විය.
ජනසන්නිවේදන අධ්‍යනංශය සංවිධානය කරන ලද බාහිර කථිකයෙකුගේ දේශනයක් වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට ආරාධනාවක් ලැබී ඔහු එහි ගොස් ව්‍යවසායකත්වය පිළිබද දේශනයක් පවත්වා තිබේ.
දේශන කාලය තුළ ගැටලුවකට මුහුන නොදුන් ඔහු දේශනය අවසන් වී සිය මෝටර් රථය වෙත පැමිණ විශ්ව විද්‍යාල භූමියෙන් පිටත්වන අවස්ථාවේ විශ්ව විද්‍යාල සිසුන්  කිහිපදෙනෙකු ඔහුට විරෝධය පළ කර තිබෙයි.
මෙවැනි අය දේශන වලට ගෙන්වීමට තරම් විශ්ව විද්‍යාලයේ අය පහත් තත්වයට පත්ව ඇත්දැයි ප්‍රශ්න කළ සිසුවෙකු චෝදනා කළේ


සහල් මිල ඉහළ යාමට හේතුවූ සහල් සගවා තබා ගැනීමට ඩඩ්ලි සම්බන්ධ බවයි.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් එම ස්ථානයට පැමිණ සිසුන්ට කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව ඩඩ්ලි සිරිසේනට එම ස්ථානයෙන් පිටත්ව යාමට අවස්ථාව හිමිවූ බව පැවසේ.
තමන්ට සිදුවූ අකරතැබ්බය ගැන අනතුරුව ඩඩ්ලි සිරිසේන දීර්ඝ ෆේස්බුක් සටහනක් තබා ඇති අතර  එහි මෙසේ සටහන්වේ.

 “දේශනය අවසානයේ සිසුන් සමඟින් බොහෝ වේලාවක් සතුටු සාමිචියේ යෙදී ඔවුන් සමඟින් තේ පැන් සංග්‍රහයක්ද භුක්ති විඳී මා පරිශ්‍රයෙන් පිටතට ඒමේදී සිසුන් කිහිපදෙනෙකු මඟ අවහිර වන සේ බාධක යොදමින් මාගේ මඟ විනාඩි දහයක කාලයක් පුරාවට අවහිර කර ඔවුන්ගේ සමාජ පීඩනය මා හරහා පිට කිරීමට පෙළඹුණා.
ගතවූ දෙපැය තුළ කවරාකාරයේ හෝ බළපෑමක් නොතිබුණත්, එම දේශනය අවසානයේ මාධ්‍ය ආවරණ සහිතව පසුව සිදුවූ මේ සිදුවීම මනා ලෙස සංවිධානාත්මක අයුරින් කවරෙකු හෝ මෙහෙයවූ සිදුවීමක් බව මා හට පසක් වුණා.



කවරාකාරයේ හෝ තමන් සතු පටු අරමුණු විශ්ව විද්‍යාල සිසුන් ලවා කොන්ත්‍රාත් ක්‍රමයට මුදුන්පමුණුවාගැනීමට වෙර දැරූ එම කණ්ඩායම සම්බන්ධයෙන් මා තුළ වෛරයක් නොමැති බවත්, ආදරණීය පියෙකු, වැඩිහිටියෙකු සහ දේශිය ව්‍යවසායකයෙකු ලෙස එම සිසුන් කෙරෙහි අනුකම්පා සිතින් තවදුරටත් ආශිර්වාද කිරීමට කැමති බව පහන් සංවේගයෙන් යුතුව මෙසේ මා පසක් කරනවා.“