Caught-while-on-honeymoon-the-groom-bails-by-showing-his-marriage-certificate

අධිකරණය දිගින් දිගටම මගහරිමින් සිටි සැකකරුවකු මධුසමය ගත කරන අතරතුර අධිකරණයට ඉදිරිපත්වූ පුවතක් වාර්තාවේ. ඔහු එසේ ඉදිරිපත්වීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී පැය කීපයකට පසු නීතිඥ මහතකු මානුෂීය කරුණු දැක්වීමෙන් පසු රුපියල් දස දහසක ශරීර ඇපයක් මත මුදාහරින්නැයි පානදුර අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන්. සිල්වා මහතා නියෝග කළේය.මෙසේ ඇපමත මුදාහරින ලද්දේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.



විත්තිකරු අවස්ථා කීපයක දී අධිකරණය මගහරිමින් සිට ඇති බැවින් ඔහු වෙනුවෙන් ඇපවූ පුද්ගලයා නීතිඥවරියක මාර්ගයෙන් පසුගිය 24 වැනිදා මෝසමක් මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.එහිදී පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා විත්තිකරු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස එහිදී නියෝග කළේය. ඉන්පසු විත්තිකරු වෙනුවෙන් ඇපවී සිටි තැනැත්තා නීතිඥ අරුණ දීපාල් මහතා මුණගැසී තම මිතුරා දින දෙකකට පෙර විවාහවූ බවත්, මධුසමය ගතකරමින් සිටියදී තමාගේ බලකිරීම මත මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ බවත්, ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ ද මනාලිය මේ වනවිට වාද්දුව හෝටල් කාමරයක තනිව ඔහුගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සිටින බවත් දැනුම් දී ඇත.



ඒ අනුව නීතිඥ මහතා විනාඩි කිහිපයක දී විත්තිකරුගේ විවාහ සහතිකය, මංගල ඡායාරූප සහ තැන්ක් යූ කාඩ් ගෙන්වාගෙන නැවත අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව නීතිඥ අරුණ දීපාල් මහතා සඳහන් කර ඇත්තේ, පුද්ගලයකුට මධුසමය ගතකරන දින කිහිපය සිය ජීවිතයේ වටිනාම දින කිහිපයක් බවත්, විත්තිකරුට සහ ඔහුගේ මනාලිය යන දෙදෙනාට එම වටිනා දින කිහිපය මගහැරී යනවා මෙන්ම ඔවුන්ගේ පවුල් ජීවිතය ද දෙදරා යාමට මෙය ඉවහල් වියහැකි බවත්, එබැවින් සිය සේවාදායකයා පිළිබඳ නැවත වරක් මානුෂීය ලෙස සලකා බලා සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය.එම කරුණු පිළිබඳ අවධානය යොමු කළ පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා විත්තිකරු රුපියල් දස දහසක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ