
මවුපියන්ට බොරු කියා මාඔයේ දොස්තර වළ නමැති ස්ථානයේ දිය නෑමට ගිය 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පෙරේදා (06) දියේ ගිලී මියගොස් ඇත.
බම්බුකුලිය ප්‍රදේශයේ වැලි ගොඩදැමීම හේතුවෙන් මාඔයට යාබදව නිර්මාණය වූ දොස්තර වළ නමැති ස්ථානයේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගිය මෙම සිසුන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන ගොඩගනු ලැබුයේ ඊයේ (07) දිනයේය.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිහේන සහ දළුවකොටුවේ පදිංචිව සිටි මහාතෙල්ලාගේ නිහාර කවිඳු නෙත්මාල් පීරිස් සහ විහඟ සේනාල් ප්‍රනාන්දු පුල්ලේ යන පාසල් මිතුරන් දෙදෙනකු බව කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේය. හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ පැවති මරණ පරීක්ෂණයේදී මියගිය කවිඳුගේ මව වන ඉසානි කාංචනා යන අය සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.
'මගේ ස්වාමිපුරුෂයා නැහැ. ඔහු මිය ගිහින්. මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. නාන්න ගිහින් මියගොස් ඇත්තේ මගේ වැඩිමල් පුතා. එයා වැලිහේන සිංහල මිශ්‍ර විදුහලේ දහවැනි වසරේ ඉගෙනුම ලබනවා. හය වැනිදා උදේ පාසල් ගොස් සවස දෙකට ගෙදර ආවා. පසුව කෑම කෑවා. පුතාගේ මිතුරා විහඟ පැමිණ පුතාට කතා කළා පාසල් පිට්ටනියේ සෙල්ලම් කරන්න යමු කියලා.
සවස දෙකයි හතළිස්පහට පමණ ඔවුන් දෙදෙනා පිටත්ව ගියා. එලෙස වෙනදාටත් යනවා. සවස 6.30 වනතුරුත් බලාගෙන හිටියා. පුතා ගෙදර ආවේ නැහැ. පුතාගේ මිතුරාගේ ගෙදරට කතා කළා. මිතුරාගේ පියා කිව්වා ඔහුත් ගෙදර ආවේ නැහැ කියලා. රාත්‍රී 7.30ට පමණ කොච්චිකඩේ පොලිසියට ගිහින් පැමිණිලි කළා. පාසලේ ළමයි කිව්වා මේ අය මීට පෙර හල්පෙ පැත්තේ තියෙන විලකට නාන්න යනවා කියලා. බම්බුකුලිය ප්‍රදේශයේ විලක් වැනි ජලාශයක් ළඟ පුතාගේ සහ මිතුරාගේ ඇඳුම් තිබුණා. ඔවුන් ගිය පාපැදි දෙකත් තිබුණා. පොලිසියෙන් පැමිණ ප්‍රදේශවාසීන්ගේ උදවු ඇතුව කවිඳුගේ සිරුර ගොඩ ගත්තා. නැවත පැය කිහිපයකට පසුව විහඟගේ සිරුර ගොඩ ගැනීමට හැකි වූ බව කොච්චිකඩේ පොලිසිය පැවසුවා.'
Comments
Post a Comment
Your comment will be visible after approval