mount-merapi-eruption-indonesia-hikers-found-dead

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හි මවුන්ට් මෙරාපි ගිනිකන්ද පුපුරා යාමෙන් පසු , කඳු නගින්නන් 11 දෙනෙකුගේ මළ සිරුරු ඉන්දුනීසියානු ගලවාගැනීම් කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ.
ගලවා ගැනීමේ නිලධාරියෙකු පැවසුවේ , ගිනි කන්ද මත තිදෙනෙකු ජීවතුන් අතර සිටින අතර අවම වශයෙන් කඳු නගින්නන් 12 දෙනෙකු පමණ තවමත් අතුරුදහන් වී ඇති බවයි. තවත් නිලධාරියෙකු සඳහන් කළේ අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 22ක් පමණ විය හැකි බවයි.

සඳුදා දිනයේ දී සිදු වූ තවත් කුඩා පිපිරීමක් හේතුවෙන් සෝදිසි කිරීම් අත්හිටුවීමට සිදු වූ බව,  සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායමේ ප්‍රකාශක ජෝඩි හරිවාන් පැවසූ අතර , "දිගින් දිගටම ගිනි කන්ද ආශ්‍රිත ප්‍රෙද්ශය තුළ සෙවීම් කටයුතු සිදු කිරීම භයානකයි" යැයිද ඔහු පැවසුවේය.


සඳුදා දිනට පෙර කඳු නගින්නන් හතළිස් නව දෙනෙකු පමණ ප්‍රදේශයෙන් ඉවත් කරන ලද අතර ,බොහෝ දෙනෙක් පිළිස්සුම් තුවාල සදහා ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහු පැවසීය.

"ඉවත් කර නොමැති පුද්ගලයින් 26 දෙනෙකු ගිනි කදු ආශ්‍රිත කලාපයේ සිටින අතර, ඔවුන්ගෙන් 14 දෙනෙකු මේ වන විට අපට හමු වී ඇත. තිදෙනෙකු ජීවතුන් අතර සිටින අතර 11 දෙනෙකු මිය ගොස් ඇති බව සොයාගෙන ඇත" යනුවෙන් සෙවුම් සහ මුදාගැනීමේ ඒජන්සියේ ප්‍රධානී අබ්දුල් මලික් වාර්ථා කළේය. කන්ද මත සෙනසුරාදා දිනය වන විට  මුළු කඳු නගින්නන් 75 ක් සිටිය බව ඔහු පැවසීය.

ගිනි කන්ද ඉරිදා සුදු සහ අළු දුමාරය සමඟ පුපුරා ගිය අතර, එය කඳු නගින්නන් අතරමං වීමට හා  තුවාල ලැබීමට හේතු වී ඇත.  එසේම ගිනි කන්ද ආශ්‍රිත ගම්මාන කිහිපයක් පුරා ගිනිකඳු අළු පැතිර ගොස් තිබේ.

පුපුරා යාමෙන් පසු කඳු නැගීමේ මාර්ග දෙකක් වසා දමා ඇති අතර, ලාවා විධාරණය හේතුවෙන් මෙරාපි කඳු බෑවුම්වල ජීවත් වන වැසියන්ට ගිනිකදු ආවාටයේ සිට කිලෝමීටර 3 ක් (සැතපුම් 1.8 ක්) පමණ ඈතින් රැඳී සිටින ලෙස උපදෙස් දුන් බව ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ විද්‍යාත්මක උපද්‍රව අවම කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරියෙකු වන අහමඩ් රිෆන්ඩි පැවසීය.



කෙසේ වෙතත්, කඳු නගින්නන් 75 ක් පමණ සෙනසුරාදා දිනයේ දී මීටර් 2,900 (අඩි 9,480) ක් පමණ උස කන්ද තරණය කිරීමට පටන් ගෙන ඇත. ඔවුන් සෙවීම සඳහා පොලිසිය සහ හමුදා සොල්දාදුවන්  160 කට වැඩි පිරිසක් යොදවා ඇති බව බටහිර සුමාත්‍රා පළාතේ අගනුවර වන පඩං හි ප්‍රාදේශීය සෙවීම් සහ මුදාගැනීමේ ඒජන්සියේ නිලධාරියෙකු වන හරි අගුස්ටියන් පැවසීය. බේරාගත් පිරිසෙන් අට දෙනකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ අතපය කැඩී ඇති බවත් වාර්තා වූ බවද ඔහු පැවසීය.

“ඇතැමුන් දැඩි උණුසුම් බව නිසා පිළිස්සුම් තුවාල ලබා තිබෙන අතර,  ඔවුන් මේ වන විට රෝහල් ගත කර තිබෙන බවත්, මෙසේ තුවාල වූ පිරිස ආවාටයට සමීප ව සිටි පිරිසක් වන බවත්" බටහිර සුමාත්‍රා ආපදා අවම කිරීමේ නියෝජිතායතනයේ ප්‍රධානී රූඩි රිනාල්ඩි පැවසුවේය.

බටහිර සුමාත්‍රාහි ස්වභාවික සම්පත් සංරක්ෂණ ඒජන්සිය පැවසුවේ කඳු නගින්නන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ඒම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් රාත්‍රිය පුරා ක්‍රියා කරමින් සිටි බවයි.

පිපිරීමෙන් මීටර් 3,000 කට වඩා වැඩි අළු ප්‍රමාණයක් වාතයට එක්ව ඇත. අළු පත්ත වීමෙන් ගම්මාන කිහිපයක් ආවරණය වී ඇති අතර , එම කලාප වලට හිරු එළිය ලැබීමද අවහිර වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියේ ප්‍රකාශක අබ්දුල් මුහාරි පැවසීය. මේ නිසා බලධාරීන් විසින් එම කලාපවල ජීවත් වන ජනයාට  මුව ආවරණ  බෙදා දී ඇති අතර , ගිනිකඳු අළු වලින් ආරක්ෂා වීමට ඇස් කණ්ණාඩි පැළදින ලෙසද  ජනතාවගෙන් ඉල්ලා සිටි බව ඔහු පැවසීය.



 මෑත සතිවල සංවේදක වැඩි වැඩියෙන් ලබා ගැනීමෙන් පසු බලධාරීන් විසින් මෙරාපිගේ අනතුරු ඇඟවීමේ මට්ටම, තෙවැනි ඉහළම මට්ටමේ පවත්වා ගෙන ගිය බව අබ්දුල් මුහාරි පැවසීය.

මෙරාපි මීට පෙර ජනවාරි මාසයේ දී පුපුරා ගිය අතර ඉන් කිසිදු හානියක් සිදු නොවූවද, එදා සිට මේ දක්වා එය ක්‍රියාකාරී ගින් කන්දක් ලෙස පැවතී ඇත. ඉන්දුනීසියාව තුළ  සක්‍රීය ගිනිකඳු 120 කට වඩා පවතින අතර,  මෙම රට පැසිෆික් ද්‍රෝණිය වටා ඇති  පැසිෆික් "ගිනි වළල්ලේ" පිහිටීම හේතුවෙන් භූ කම්පන කැලඹීම්වලට නිරන්තරව ගොදුරු වේ.