no-liquer-day

සෑම වසරකම ඔක්තෝම්බර් 3වනදාට (අද දිනට) ජාත්‍යන්තර මද්‍යසාර නිවාරණ දිනය යෙදී ඇත. ගෝලීය වශයෙන් සෑම වසරකම මිලියන 3ක මරණවලට තුඩුදෙන රෝග හා අනතුරු ගණනාවකට මූලික හේතුසාධකය මද්‍යසාර පරිභෝජනයයි. ඊට අමතරව අක්මා, සිරෝසිස්, පිළිකා සහ මාර්ග රථ අනතුරු ඇතුළු බෝ නොවන රෝග සහ අනතුරු හේතුවෙන් සෑම වසරකම පුද්ගලයන් විශාල පිරිසක් රෝගීන් බවට පත්කරයි. ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයෝ 50කට ආසන්න ප්‍රමාණයක් මද්‍යසාර භාවිතය නිසා මරණයට පත්වෙති.

මත්පැන් පරිභෝජනය අපගේ ශරීර සෞඛ්‍යයට කිසිදු ආකාරයකින් ආරක්ෂිත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙයි. එය වැඩිදුරටත් පැහැදිලි කිරීමේදී, මීට පෙර මත්පැන් පානය සඳහා Safe Limit එකක් තිබුණද, මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙන්නේ මත්පැන් පානය කිරීම සඳහා Safe Limit එකක් නොමැති බවයි. එයින් පැහැදිලි වන්නේ මත්පැන් එක ඒකකයක් හෝ ශරීරයට ලබාගැනීම ජීවිතයට අහිතකරව බලපාන බවයි.



සුරා බදුවලින් ලැබෙන ආදායම ගණනය කිරීමෙන් පමණක් සුරා බදු රජයක ආදායමක් ලෙස සැලකීමට නොහැකිය. ඒ බව පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය නිසා ඔවුන්ගේ සෞඛ්‍යය, ආර්ථික සහ වෙනත් වියදම් දැරීමට රජයට සිදුවන මූල්‍ය පිරිවැය හා සුරා බදු ප්‍රමාණය අතර ඇති පරතරය ගණනය කිරීමෙන්, සුරා බදු මුදල රජයට ආදායමක්ද යන්න විද්‍යාත්මකව ගණනය කළ යුතුය. 2022 වසරේ මද්‍යසාර සුරා බදු ආදායම රුපියල් බිළියන 165.2ක් වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල UNDP (Investment Case for Alcohol Control in Sri Lanka ) 2023 සිදුකළ අධ්‍යයනයකට අනුව ලංකාවේ මද්‍යසාර භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය සහ ආර්ථික හානිය රුපියල් බිලියන 237කි. මෙයින් විද්‍යාමාන වන්නේ මද්‍යසාර භාවිතය රටක ආර්ථිකයට සෘණාත්මකව දැඩි බලපෑමක් ඇතිකරන බවය.

අප රට තුළ මද්‍යසාර භාවිතය අවම කිරීම රටේ පුද්ගලයන්ගේ සෞඛ්‍යයට සහ ආර්ථිකය දියුණු තත්ත්වයකට පත්කිරීමට ප්‍රබලව දායක වේ. නමුත් වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන මද්‍යසාර සම්බන්ධයෙන් ඇති තත්ත්වය මද්‍යසාර භාවිතය ප්‍රවර්ධනය කිරීමට දැඩිව දායක වේ.

සංචාරක ව්‍යපාරය දියුණු කිරීම යැයි පවසමින් සෑම නගරයකම සුරා සැල් විවෘත කිරීම -

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්, ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්වභාව සෞන්දර්යය, අසිරිය විදීමට මිස මද්‍යසාර භාවිතය ඉලක්ක කර ගනිමින් ලංකාවට පැමිණෙන සංචාරකයන් නොවන බව ඉතාම පැහැදිලිය. සංචාරකයන් සමග සිදුකළ අධ්‍යයනයකදී ඔවුන් ප්‍රධාන වශයෙන් සදහන්කර තිබුණේ, ශ්‍රී ලංකාව තුළදී ඔවුන්ට ආරක්ෂාව, පිරිසුදු වැසිකිළි පහසුකම් සහ නාමපුවරු ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් සදහන් කරන ඉල්ලීම්ය. නමුත් රට තුළ ඇති සෑම උප නගරවල සහ ගම්මානයන් තුළ සුරා සැල් විවෘත කිරීම, මද්‍යසාර සමාගම්වල උවමනාව මත සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කරන මුවාවෙන් සිදුකරගෙන යන මද්‍යසාර කර්මාන්තයේ උපක්‍රමයකි.



සතොස අලෙවි සැල්වල සුරා සැල් ආරම්භ කිරීම -

සතොස අලෙවි සැල් තුළ මද්‍යසාර අලෙවිය සඳහා අවසර ලැබීම තුළින් මද්‍යසාර ලබාගැනීමේ පහසුව, නැතහොත් සුලබතාවය වැඩි වී මද්‍යසාර භාවිතය වැඩි වේ. මෙවැනි වෙළෙඳ සැල්වලට කුඩා දරුවන්, තරුණයන් ඇතුළු සියලුදෙනාම පැමිණෙන බැවින්, මද්‍යසාර අලංකාරව අසුරා තැබීම දැකීම තුළින්ද මද්‍යසාර පිළිබඳ ආකර්ෂණයක් ගොඩනැගෙන අතර, එමගින් ඔවුන්ව මද්‍යසාර භාවිතය සඳහා පෙලඹීමක් ඇති වේ. මෙය ඉතා සූක්ෂමව මද්‍යසාර කර්මාන්තය විසින් තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීම සදහා රජය සතු ආයතන භාවිත කරමින්, රාජ්‍ය අනුග්‍රහය මත මද්‍යසාර අලෙවිය වැඩි කිරීම සදහා ක්‍රියාත්මක වන කූට ව්‍යාපෘතියකි.

මද්‍යසාර මිල ඉහළ මට්ටමක පවතින බැවින්, නීතිවිරෝධී මද්‍යසාර අලෙවිය වැඩි වී ඇති බවට ප්‍රචලිත කරන සාවද්‍ය කරුණු -

වර්තමාන මද්‍යසාර මිල ඉහළ මට්ටමක පවතින බැවින්, නීතිවිරෝධී මද්‍යසාර අලෙවිය වැඩි වී ඇති බවත්, එම නිසා රජයේ බදු ආදායම අඩු වන බව පවසමින් මිල අඩු කළයුතු බවට මතයක් නිර්මාණය කර ඇති අතර, නීතිවිරෝධී මද්‍යසාර පාලනය කළ හැක්කේ පොලීසිය සහ සුරා බදු දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම තුළින් වැටලීම් සිදුකිරීමෙනි. එසේ නොමැතිව නිත්‍යානුකූල මද්‍යසාර මිල අඩු කිරීම නීතිවිරෝධී මද්‍යසාර භාවිතය පාලනය කිරීමට ඵලදායී උපාය මාර්ගයක් නොවේ. 1995දී නීතිවිරෝධී මද්‍යසාර භාවිතය අඩු කිරීම සදහා බව පවසමින් බියර් සදහා බදු ඉතා විශාල ලෙස අඩු කළ අතර, එමගින් සිදුවූයේ බියර් භාවිතය ඉහළ යාම පමණකි. මද්‍යසාර භාවිත කරන්නන්ගේ සමාජ මට්ටම්, භාවිතයේ ඇති බලාපොරොත්තු ආදී කාරණා නිසා නීත්‍යානුකූල මද්‍යසාර මිල වැඩි වීමෙන්, නීතිවිරෝධී මද්‍යසාරවලට යොමු වීම ප්‍රායෝගිකව සිදු නොවන්නකි.



2024 අය වැය මගින් උද්ධමනයට සමානුපාත වන සුරා බදු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම -

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මද්‍යසාර බදුකරණය සහ මිල නියම කිරීමේ ප්‍රතිපත්ති විද්‍යාත්මකව ඔප්පු කර ඇති අතර, එය වඩාත්ම ලාභදායී මද්‍යසාර පාලන පියවරයක් වේ. මද්‍යසාර සඳහා බදු වැඩි කිරීම මගින් අලුතෙන් පිරිස් මද්‍යසාර භාවිතය ආරම්භ කිරීම අඩුකරන අතරම, දැනට මද්‍යසාර භාවිත කරන පිරිසගේ භාවිතය අවම වීමද සිදුවන බව විද්‍යාත්මකව සනාථ කර ඇත. එමෙන්ම, මද්‍යසාර භාවිතයෙන් රටට සිදුවන සෞඛ්‍ය පිරිවැය පියවා ගැනීමට අවශ්‍ය රාජ්‍ය ආදායමද සපයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අප රට සමග 2023 වර්ෂයේ ඇති කරගත් ගිවිසුම අනුව යෝජනා කර ඇති, 2024 ජනවාරි 01වනදා වන විට උද්ධමනයට සමානුපාත වන සුරා බදු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා රජයේ බදු ආදායම ඉහළ දමමින් මද්‍යසාර භාවිතය අවම කිරීමටත්, රජ්යේ සෞඛ්‍ය වියදම අඩු කර ගැනීමත් සිදුකළ හැකිය.

එම නිසා එළඹෙන 2024 අය වැය යෝජනා මගින් උද්ධමනයට සමානුපාත වන සුරා බදු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා රටට අහිමි වන බදු ආදායම අයකර ගැනීම සහ මද්‍යසාර හානිය හේතුවෙන් ඇතිවන වියදම් පාලනය කරමින්, රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට මද්‍යසාර නිෂ්පාදන සදහා විද්‍යාත්මක, තාර්කික බදු ප්‍රතිපත්තියක් ඉතා කඩිනමින් අවශ්‍ය බවත්, මද්‍යසාර සුලබතාව වැඩි කිරීමට දායක වන ක්‍රියාකාරකම් වහා නවතා දැමීමට කටයුතු කරන ලෙසත්, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ලෙස අප දැඩිව අවධාරණය කර සිටිමු.

(මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය)
-පියුමිකා වීරසූරිය