
මහ රෑ හොඳම මිතුරාගේ නිවසට හොර රහසේ ඇතුළු වී එහි නිදාගෙන සිටි මිතුරාගේ විසි හැවිරිදි විවාහක බිරිඳ අපයෝජනය කිරීමට උත්සාහ කර පැන ගොස් සිටි සැකකරුවෙකු මේ මස 23වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (09දා) නියෝග කළේය.
පස්යාල, බෝලන්කන්ද ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තැනැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.
සැකකරු ඔහුගේ හොඳම මිතුරාගේ නිවසට මහ රෑ හොර රහසේ ඇතුළු වී එහි නිදාගෙන සිටි මිතුරාගේ විසි හැවිරිදි බිරිඳ අපයෝජනය කිරීමට උත්සාහ කිරීමත් සමග ඇගේ කෑ ගැසීමට බිය වූ සැකකරු ඔහු පැලද සිටි පාවහන් යුවළ ද එහි දමා පැන ගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියාය.
සැකකරු මිතුරාගේ විවාහයේ දෙවැනි මනාලයා වශයෙන් සිට ඇති බවටද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවටද පොලිස් පරීක්ෂකවරිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියාය.
පොලීසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය.
නැවත කැඳවීම මේ මස 23 වනදාට කල් තැබිණ.
-වාරණ ආනන්ද ඉ ජයකොඩි
Comments
Post a Comment
Your comment will be visible after approval