alawathugoda-murder-updates

මහනුවර අලවතුගොඩ, ඇල්ල කඩේ ප්‍රදේශයේදී මීට මාස 07කට පෙර ගෙල සිර කර ඝාතනය කර පසුව කුඹුරක සගවා තිබූ තරුණියගේ ෆේස්බුක් පිටුවට කිසිවෙකු හෝ නිරන්තරයෙන් අවතීර්ණ වන බවට පෙනීගොස් ඇති බැවින් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස එම නඩුවේ විත්තියේ නීතිඥ අමිත් පෙරේරා මහතා අධිකරණය හමුවේ පැවසීය.

එම නඩුව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා ඉදිරියේ පෙරේදා (18දා) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, මියගිය තැනැත්තියගේ ජංගම දුරකථනය මේ වනතුරු සොයා ගැනීමට නොහැකිව තිබෙන වාතාවරණයක් මත ඇය භාවිත කළ යූටියුබ්, වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට කිසිවෙකු විසින් ප්‍රවිෂ්ට වන බවට තහවුරු වී ඇති බවයි.



මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත්තේ, සියලු සාක්‍ෂි විනාශ වූවාට පසුව බවද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලීසිය පොලිස් නිල සුනඛයෙකු යොදවා සිදුකළ විමර්ශනයකින් පසු යුද හමුදාවෙන් ඉවත්ව සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවත්, ඉන් මාස 05කට පසු පොලීසිය විසින් එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වශයෙන් මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මියගිය තරුණිය භාවිත කළ තුවායේ ශුක්‍රාණු දැවටී ඇති බවත්, ඒ පිළිබඳ නිසි ලෙස අනාවරණය කර ගැනීමට ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් සඳහා මියගිය තැනැත්තියගේ ස්වාමිපුරුෂයා ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම අලවතුගොඩ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුජීව ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිද්ධියට අදාළව පොලිස් පරීක්‍ෂණ සිදුකරමින් පවතින බවත්, ගම්වැසියන් මෙම සිද්ධියෙන් පසු දැඩි භීතියකින් යුතුව ජීවත් වන බවත්ය.

- ෂේන් සෙනෙවිරත්න