afganisthan-sri-lanka

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන 06 වැනි තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව පූනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30දා) ප.ව. 2.00කට ආරම්භ වේ.තරගාවලියේ අඛණ්ඩ ජයග්‍රහණ දෙකකට හිමිකම් කියන ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි. තරගාවලිය ආරම්භයේදී සහභාගි වූ තරග තුනම පරාජයට පත් වූ ශ්‍රී ලංකාව, ඉක්මනින්ම තරගාවලියෙන් ඉවතට විසිවේ යැයි විචාරකයන් මත පළ කළ ද එම සියලු මත ඉවතට ඇද දමමින් තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට සමත් ව ඇත. එබැවින් එය ඉදිරියටත් පවත්වාගෙන යාමට නම් අද තරගයද ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වේ.



නමුත් ශ්‍රී ලංකාවට අද මුහුණ දීමට සිදු වන්නේ තරගාවලියේ අනපේක්ෂිතම කණ්ඩායමට කිවහොත් නිවැරදිය.මන්ද දුර්වල කණ්ඩායමක් ලෙස තරගාවලියට පිවිසි ඇෆ්ගනිස්තානය, තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් ලෙස නම් දරා සිටි පාකිස්තානය හා එංගලන්තය පහසුවෙන් පරාජයට කිරීමට සමත් විය. මේ වන විට ඔවුන්ද ශ්‍රී ලංකාව හා සමානව සහභාගි වූ තරග පහෙන් දෙකක් ජය ගැනීමට සමත්ව ඇත.එම නිසා තරග දෙකක් ජය ගත්තා යැයි කියා මෙම තරගය පහසුවෙන් ගැනීමට සිතීම ශ්‍රී ලංකාවට දැඩි අවාසි දායක වේ.

අත්දැකීම් අතින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටින බව පැහැදිලිය. ඉහළ ක්‍රිකට් ඉතිහාසයක් හා සංස්කෘතියක් නොමැති ඇෆ්ගනිස්තානය තරග කරන්නේ කිසිවක් අහිමි වීමට නොවේ. නමුත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවට එය එසේ නොවේ. තරගාවලියේ පසුගිය එංගලන්ත තරගයට සාපේක්ෂව මෙම තරගයේදී ළහිරු කුමාර හැරෙන්නට කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගේ වෙනසක් සිදු ව ඇතැයි බලාපොරොත්තු විය නොහැක. ආබාධයක් හේතුවෙන් ළහිරු කුමාරට තරගාවලියේ ඉදිරි සියලුම තරග අහිමි වන අතර,

ඔහුගෙන් හිස්වන ස්ථානයට දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආදේශ කර ඇත. ඊට අයි. සී.සී. තක්‍ෂණික කමිටුවේද අනුමැතියද ලැබී ඇත. කෙසේ නමුත් කුසල් ජනිත් පෙරේරාගේ ආම්භක පිතිකරු භූමිකාව තරගාවලියේදී එතරම් හොඳින් දක්නට නොලැබීම නිසා ඔහුගේ ස්ථානය නැවතත් දිමුත් කරුණාරත්නට හිමි වීමේ අවස්ථාවක් ද ඇත.

ඇෆ්ගනිස්තානයද පසුගිය පාකිස්තානය  සමගින් පැවැති තරගය ජය ගැනීම නිසා එම තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක.තරගය පැවැත්වෙන පූනේහි මහාරාෂ්ට ක්‍රීඩාංගණය පිතිකරුවන්ට පාරාදීසයක් බඳුය. එනිසා කාසියේ වාසිය ජයග්‍රහණය කළ හොත් පළමුවෙන් පන්දුවට පහරදීම සුදුසු යැයි අපේක්ෂා කරමු. ක්‍රීඩාංගණය අවට රාත්‍රියේදී මීදුම් ස්වභාවයක් ගන්නා අතර, එය රාත්‍රී ආලෝකය යටතේ පහර දීමේදී යම් අවාසියක් ඇති කරයි. එබැවින් පළමුව පන්දුවට පහරදී 300 සීමාව ඉක්ම වුවහොත්, ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට පීඩනයක් ලබා දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාවක් ලැබෙනු ඇත.

ඕෂිත වරකපිටිය