
තංගල්ල, කපුහේන්වල ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පෝලන්ත ජාතික තරුණියක දියෙහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ඔලිවියා මරීනා නමැති 22 හැවිරිදි අවිවාහක තරුණියකි.
තංගල්ල, මාරකොල්ලිය, කපුහේන්වල සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම තරුණිය ඇගේ පෙම්වතා සහ තවත් විදෙස් ජාතිකයන් දෙදෙනකු සමග පෙරේදා (24 වැනිදා) කපුහේන්වල මුහුදෙහි දිය නෑමට ගොස් තිබේ.
ඔවුන් දිය නෑමට සූදානමින් සිටි ස්ථානය දිය නෑමට නුසුදුසු බවට ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලේ කළමනාකරු දැන්වුවද ඔවුන් ඊට විරෝධය දක්වා ඇතැයි කියති. එම ස්ථානයේ අවදානම් බව හැඟවෙන නාම පුවරු සහ රතු පැහැ කොඩි පවා යොදා තිබියදී මොවුන් එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇත.
පිරිස දිය නාමින් සිටියදී ඔලිවියා තරුණිය සහ ඇගේ පෙම්වතා දියඹට ගසාගෙන ගොස් ඇති අතර හෝටල් සේවකයන් සහ ගම්වාසීන් එක්ව ඔවුන් බේරාගැනීමට උත්සාහ කර තිබේ. පසුව ගොඩට ගත් දෙදෙනා සුවසැරිය ගිලන් රථයකින් තංගල්ල මූලික රෝහලට රැගෙන ගියද තරුණිය පෙරේදා (24 වැනිදා) පස්වරුවේ මියගොස් ඇත.
මියගිය තරුණියගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
අනීෂා මානගේ
Comments
Post a Comment
Your comment will be visible after approval