
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු කනිෂ්ඨ සේවකයකු කාලයක් තිස්සේ කරගෙන ගිය බව කියන කුඩා දරුවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සමත්ව ඇත.පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව නාඋල පොලිසිය සමග එක්ව
ඉකුත්දා කළ වැටලීමකදී නාඋල පිහිටි මෙම රෝහල් සේවකයාගේ නිවසේ සඟවාගෙන සිටි මාස දෙකක් වයසැති බිලිඳියක හා මාස දෙකක් වයසැති බිලිඳකු සොයා ගත් බවද පරිවාස නිලධාරීහු පැවසූහ.
එම බිලිඳුන් දෙදෙනා ගාල්ලේ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි පවුල් දෙකකට මුදලට අලෙවි කිරීම සඳහා සඟවාගෙන සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔවුහු කීහ. මහනුවර පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ නියෝග ලබාගෙන එම බිලිඳුන් දෙදෙනා ළමා නිවාසයකට බාරදුන් බවද ඔවුහු පැවසූහ. මෙම දරුවන්ගේ එක් මවක තෙල්දෙණියේ ද අනෙක් මව නිකවැරටියේද පදිංචිකාරියන් බවට තොරතුරු හෙළි වූ බවද එම නිලධාරීහු කීහ.ජාවාරමට සම්බන්ධ රෝහල් සේවකයා අත්අඩංගුවට නොගැනීම පිළිබඳව පුදුමයට පත්වන බවද පරිවාස නිලධාරීහු පැවසූහ.
ජේ.ඒ.එල්. ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval