kahawatte-incident

පස්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපාධිධාරි තරුණියක් පැහැර ගැනීමට පැමිණි පුද්ගලයෙකු ඊයේ (05දා) දහවල් තියුණු අවියකින් පහරදී ඝාතනය කර ඇති බව රොටුඹ පොලීසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ කහවත්ත, පනාපිටිය, පොතුවිල ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන හේවා පැලෑන්ද විදානගේ සුදත් ප්‍රසන්න (අවු.39) නමැත්තෙකි.



රොටුඹ, නාවලේ දන්ලන්දහේත ප්‍රදේශයේ නිවසකට කහවත්ත ප්‍රදේශයේ සිට ඝාතනයට ලක්වූ පුද්ගලයා හා තවත් අයෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ ත්‍රිරෝද රථය හා පැමිණි සෙසු පුද්ගලයා ප්‍රධාන මාර්ගයේ නතර කර අදාළ නිවසට ගොස් ඇති බවත්,

නිවසට ගොස් නිවැසියන්ට මරණ තර්ජනය කර ඇති බවත්, එම අවස්ථාවේ තරුණියගේ පියා තියුණු අවියකින් පහරදී ඇති අතර, දෙදෙනා පොර බදා ඝාතනයට ලක්වූ පුද්ගලයා පිහියත් රැගෙන ඒ ආසන්නයේ ඇති නිවසකට දුවගොස් ඇති බවත් පසුව නිවැසියන් ඔහු පසුපස හඹා ගොස් පහරදීම ඇති බවත් පරීක්ෂණ වලදී අනාවරණය විය.

සිදුකළ දැනුම්දීමක් මත එම ස්ථානයට පැමිණි රොටුඹ පොලිස් නිලධාරීන් තුවාලකරු පොලිස් ත්‍රිරෝද රථයෙහි දමාගෙන රෝහලට රැගෙත යන අතරතුර 1990 සුවසැරිය ගිලන් රථයට මාරු කර ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් ඇති බවට හෙළිවී තිබේ.මේ වන විට මළසිරුර හීගොඩ ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පස්ගොඩ ප්‍රදේශයේ තරුණිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් තරුණිය විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ සිට සම්බන්ධය පවත්වා ඇති බවටත් පසුගිය සැප්තැම්බර් 01 වැනිදා මෙම පුද්ගලයා තරුණියගේ නිවසට පැමිණ තේ බී පවුලේ අය සමග කතා කර ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවට පොලීසිය පවසයි.

ඩී.ඒ.පතිරණ