
කොළඹ ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17) සවස පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසලාන අවසාන ක්‍රිකට් තරගයේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට නිකුත් කර තිබූ ඇතුළත්වීමේ අවසරපත්‍රවලට සමාන ඇතුළත්වීමේ අවසර පත්‍ර රැසක් ළඟ තබාගෙන සිටි බව කියන පුද්ගලයකු මාලිගාවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.මෙම අවසර පත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමට මෙම සැකකරුට ආධාර අනුබල දුන්නේයැයි කියමින් ක්‍රීඩාංගණයේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පුද්ගලයෙකු ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ව්‍යාජ ලෙස සකස් කරන ලද අවසරපත්‍ර ළඟ තබා ගෙන සිටි බව කියමින් අත්අඩංගුවට ගත් සැකකරු හැට තුන් හැවිරිදි වියේ පසුවන ඛෙත්තාරාම ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙම පුද්ගලයා ගෙන් හෙළි කර ගත් තොරතුරු මත සැකපිට අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා මහනුවර වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් යැයි පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යයි. ව්‍යාජ ඇතුළත් වීමේ අවසරපත්‍ර ළඟ තබාගෙන සිටි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ ද පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් සපයන තොරතුරු මත බව පොලීසිය සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval