
පරිසරයට සහ මහජන සෞඛ්‍යයට ඇති කරන අන්තරාය හේතුවෙන්, දේශීයව "පෆ්" ලෙස හැඳින්වෙන ඊ- සිගරට් තහනම් කිරීමට ප්‍රංශය සූදානම් වෙයි.
RTL රේඩියෝව ඔස්සේ මෑතකදී අදහස් දක්වමින් අගමැති එලිසබෙත් බෝර්න් පැවසුවේ මෙම පියවර රජය විසින් සකස් කරන ලද නව දුම්වැටි විරෝධී සැලැස්මක කොටසක් බවයි. එය වසර අවසන් වන විට බලාත්මක විය යුතු බව අදහස් දක්වා ඇත.
ජර්මනිය, බෙල්ජියම සහ අයර්ලන්තය ඇතුළු යුරෝපයේ තවත් රටවල් කිහිපයක් ද එවැනිම තහනමක් ප්‍රකාශයට පත් කර ඇත. එක්සත් රාජධානිය ද එම සැලසුම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව පැවසේ.
ප්‍රංශය තුල මෙම පෆ් හී මිල යුරෝ 9 (LKR 3000) පමණ වෙයි.
හිතාමතාම යෞවනයන් ඉලක්ක කර ගනිමින්, දීප්තිමත් වර්ණ සහ රසකැවිලි රසයන් රාශියක් භාවිතා කරමින් මේවා නිෂ්පාදනය කරන බවට චෝදනාවන් එල්ල වෙයි.
දුම්කොළවලට එරෙහි සන්ධානයක් වන ACT ට අනුව, වයස අවුරුදු 13-16 අතර ළමුන්ගෙන් 13% ක් අවම වශයෙන් එක් වරක් හෝ "පෆ්" භාවිතයට උත්සාහ කර ඇති බව සොයා ගෙන ඇත.
"වසංගතයක් බවට පත් වී ඇති මෙය තහනම් කිරීම සිවිල් සමාජය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. මෙම ඉවත දැමිය හැකි ඉලෙක්ට්‍රොනික සිගරට් තරුණ තරුණියන්ට දුම්පානය සඳහා දොරටුවක් ලෙස ක්‍රියා කරනවා," යැයි ACT සභාපති Loïc Josseran පවසයි.
16 හැවිරිදි පැරිස් පාසල් සිසුවෙකු වන සෑම් පැවසුවේ, ඔහු වසර දෙකකට පෙර සිට ඉවත දැමිය හැකි විද්‍යුත් සිගරට් පානය කිරීමට පටන් ගත් බවයි.
"බොහෝ පිරිසක් ටික්ටොක් එකේ ඒ ගැන කතා කළා. මම හිතුවේ ඒක ප්‍රවණතාවක් කියලා . ඒවා වර්ණවත්. මම හිතන්නේ ඒවා දුම්කොළ තරම් භයානක නැහැ. මගේ ප්‍රියතම වර්ගය වෙන්නේ අයිස් මිදි සහ ඇප්රිකොට් ඇට. මේ යොදන තහනම ඉදිරියට ගියොත් මම සාමාන්‍ය vapes මිලදී ගන්න පටන් ගන්නවා." යැයි සෑම් පැවසුවේය.
න්‍යායාත්මකව වයස අවුරුදු 18 ට අඩු නම් "පෆ්" මිලදී ගත නොහැකි නමුත් සෑම් පැවසුවේ එම සීමාවන් මග හැරීම ඉතා පහසු බවයි.
ප්‍රචාරකයින් විසින් මෙම ඉවත දැමිය හැකි විද්‍යුත් සිගරට් නිසා සිදුවන පාරිසරික හානිය ද ඉස්මතු කර ඇත. එක්සත් රාජධානියේ, Material Focus නම් පාරිසරික සංවිධානය විසින් පසුගිය වසරේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සෑම සතියකම පෆ් මිලියනයකට වඩා ප්‍රමාණයක් ඉවතලන බවයි.
ප්‍රංශ වෛද්‍යවරුන් සහ පරිසරවේදීන් කණ්ඩායමක් මේ වසර මුලදී Le Monde පුවත්පතට ලියා ඇත්තේ “එය පාරිසරික වසංගතයක් වී ඇති බවයි.".
ඉවත දැමිය හැකි සෑම ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවක්ම ප්ලාස්ටික් වලින් සාදා ඇති අතර, ලිතියම් ග්‍රෑම් 0.15 ක් පමණ වන ඉවත් කළ නොහැකි බැටරියක් මෙන්ම නිකොටින් ලවණ සහ බැර ලෝහවල අංශු මාත්‍ර ද ඒවායේ අඩංගු බව ඔවුහු පැවසූහ.

Comments
Post a Comment
Your comment will be visible after approval