wanidu-issue

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර ආසියානු කුසලානය අහිමිවීමේ අවදානමක් මතුවී ඇත. ඒ ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධය හේතුවෙනි. ඔහුගේ පාදයේ එම්.ආර්.අයි. පරීක්ෂණ වාර්තාව මේ වනතෙක් ලැබී නොමැති නමුත් ඔහුට අවම වශයෙන් සති දෙකක් හෝ විවේක ගැනීමට සිදුවනු ඇති බව අප කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා පැවසීය.



මේ අනුව එළඹෙන අගෝස්තු 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලානයේ මුල්වටයේ තරග ඔහුට බොහෝ දුරට අහිමිවනු ඇත. පසුගිය එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්පූර්ව තරගය අතරතුරදී වනිඳු මෙලෙස පාදයේ කෙණ්ඩයේ ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් ඔහුට තරගාවලියේ අවසන් මහා තරගයද ක්‍රීඩා කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් වනිඳු තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද ලෙස සම්මාන දිනා ගත්තේය.

එමෙන්ම වනිඳු පසුගිය (2022) වර්ෂයේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට වැඩි උපකාරයක් ලබාදුන් ක්‍රීඩකයකු වන අතර, තරගාවලියේ ශ්‍රී ලංකාවේ වැඩිම කඩුලු ලාභියා බවටද පත්වූයේ තරග 6 කදී කඩුලු 09 ක් දවා ගනිමිනි.

මේ අතර පාදයේ ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ එම්.ආර්. අයි. වාර්තාව මේ වන විට ලැබී ඇති බවත්,

ඒ අනුව ඔහුට මසකට වැඩි කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා තවදුරටත් පැවසීය.

එසේ වුවහොත් චමීරට අනිවාර්යෙන්ම ආසියානු කුසලානය මගහැරෙනු ඇත. 31 හැවිරිදි චමීරට ආබාධ හේතුවෙන් සිම්බාබ්වේහිදී පැවති පසුගිය ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියද අහිමි විය. ආබාධය සුව අතට හැරීමෙන් පසු ඔහු මෙවර එල්. පී.එල්. ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළත්, එම තරගාවලිය අතරතුරදීද ඔහු ආබාධයට ලක්විය.

 ඔෂිත වරකපිටිය