kataragama-asela

කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් අසේල නමැති අලියාට කිසියම් විෂ ද්‍රව්‍යයක් යොදා පැණිකොමඩු ගෙඩියක් කෑමට දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ඇත්ගොව්වකු ඇතුළු දෙදෙනෙක් තිස්සමහාරාම වැඩබලන මහේස්ත්‍රාත් ක්‍රිෂාන්ත අබේසිංහ මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව මෙම මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූහ.

එසේ රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සහ බිබිල ප්‍රදේශයේ පදිංචි 39හැවිරිදි දෙදෙනෙකි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන තවත් ඇත් ගොව්වකු අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔහු ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව පොලිසිය කියයි.



අසේල නමැති අලියාට කෑමට දුන් විෂ වර්ගයක් දැමුවැයි කියන පැණි කොමඩු ගෙඩිය සහ අලියාගෙන් ලබාගත්  කෙළ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත ඉදිරිපත් කිරීමට කතරගම පොලිසිය කටයුතු යොදා ඇත.

අත්අඩංගුවට ගත් ඇත්ගොව්වා සහ අත්අඩංගුවට ගැනීමට සොයන ඇත්ගොව්වා අසේල නමැති අලියාට වධ හිංසා කරන නිසා ඒ දෙදෙනා ඇත්ගො‍ව් තනතුරු වලින් ඉවත් කළ බව කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස නාහිමියෝ පැවසූහ.

රජය අසේල නමැති අලියා විහාරස්ථානයට පූජා කරන විට අවුරුදු පහක වයසේ පසුවූ බවත් දැනට අලියාගේ වයස අවුරුදු දහ අටක් පමණ වන බවත් කපුගම සරණතිස්ස නාහිමියෝ කීහ.

මෙම අලියා පෙරහර කටයුතුවලට යොදා ගන්නවාට අමතරව වෙනත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගත් බවද නාහිමියෝ අවධාරණය කළහ.



මෙම අලියා රුහුණු කතරගම මහා දේවාලයේ කපු ධුරන්දර ලලිත් රත්නායක මහතා යටතේ සත්කාර ලබමින් සිට ඇත.

කිරිවෙහෙර වැඳපුදා ගෙන නමස්කාර කිරීමට අසේල අලියා දිනපතාම පැමිණෙන බවත් ඉකුත් 19 වැනිදා එසේ පැමිණි අවස්ථාවේ තරුණයකු විසින් ලබාදුන් පැණි කොමඩු ගෙඩියක් කෑමෙන් අනතුරුව එය බිම දැමූ බවත් පසුව අලියා සෙම වැගිරීමට පටන් ගත් බවත් සරණතිස්ස නා හිමියෝ පැවසූහ.

පැණිකොමඩු ගෙඩිය දුන් තරුණයා අල්ලාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී පැණි කොමඩු ගෙඩියට විෂ වර්ගයක් දමා ලබා දීමට උපදෙස් දුන් බව කියන සේවයෙන් ඉවත් කළ ඇත්ගොව්වන් දෙදෙනා පිළිබඳ තොරතුරු හෙළි වූ බවද හිමියෝ කීහ.

සේවයෙන් ඉවත් කළ ඇත් ගොව්වා එම ස්ථානයේ ඈතට වී සිටි බවත් ඔහු අල්ලා ගැනීමට ගිය අවස්ථාවේ පලා ගොස් කැලෑවට රිංගා ගත් බවත් නාහිමියෝ පවසති. ඌව කලාපය භාර පශු වෛද්‍ය නිලධාරි ආනන්ද ධර්මකීර්ති මහතා කැඳවා අලියාට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බවත් නාහිමියෝ කීහ. විෂ වර්ගයක් අඩංගුව තිබූ පැණි
කොමඩු ගෙඩිය ආහාරයට ගන්නවාත් සමග බිමට දැමීම නිසා අලියාට ජීවිත අනතුරක් සිදු නොවූ බව වෛද්‍යවරයා දැනුම් දුන් බවද නාහිමියෝ පැවැසූහ.



මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා ද සියලුම කපු මහත්වරුන් සහ ප්‍රදේශවාසීන් අලියා ගේ සුවදුක් සොයා බලන බව නාහිමියෝ කියති.

මේ පිළිබඳ පරීක්ෂණවලට සහාය දැක්වූ සියලුම උසස් පොලිස් නිලධාරීන්ට සහ එම කටයුතු සිදුකළ කතරගම පොලිසියේ සියලුම නිලධාරීන්ට ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද නාහිමියෝ කීහ

හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බැසිල් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සමන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය