gosinga-family-monk-story

ඊයේ පොහොය දිනයේ සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහකට ලක්වූ ‘ගෝසිංග වන අරණේ ආරාම පූජාව‘ හා එකම පවුලේ කිහිපදෙනෙකු පැවිදි දිවියට ඇතුළත්වීම සම්බන්ධ විවිධ අදහස් පැතිර ගොස් තිබේ.
මෙම සිදුවීම සිදුවන්නේ මීට දින කිහිපයකට පෙර පසුගිය 27 වනදාය.   
කැබිතිගොල්ලෑවේ, පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ පිහිටා තිබෙන නිවසක්, ඉඩකඩම්, මිල මුදල්, යාන වාහන සහ ව්‍යාපාරික ස්ථාන, කුඹුරු ආදිය, විකුණා ඉන් ලද මුදල සඝ සතු කොට පූජා කර  "යශෝධරා මෙහෙණි අරණ" නමින් මෙහිණි ආරාමයක් ඉදිකිරීම වෙනුවෙන් පවුලක් කැපවී තිබේ.
මෙම පවුලේ සහෝදරයා මින් ඉහත පැවිදි දිවියට ඇතුළත්වී ගෝසිංග වන අරණේ ලොකු ස්වාමින්සේ ලෙස කටයුතු කරමින් සිටින අතර මෙම වටිනා වස්තුව අතහැර එම හිමියන්ගේ මව, සහෝදරිය හා සහෝදරියගේ විවාහක සැමියා සංඝ ශාසනයට ඇතුළත්වීම සිදුවිය. එම යුවළට දාව වයස අවුරුදු 04 දරුවෙකු සිටින අතර එම දරුවා සංඝ ශාසනයට ඇතුළත් කරගන්නට හැකියාවක් නැතියෙන් මව්පියන් මහණවෙද්දී දරුවා තනිවී සිටීම කාගේත් කතාබහට ලක්විය.
ගෝසිංග සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්.
“නැගණියගේ පුංචි දරුවා අවුරුදු 4ක් වෙන්නේ ඉතින් ඒ දරුවාද මෙහෙණවර වාසය කරනවා. ඒ දරුවා පැවිදි දිවියට පත්වෙන්න සුදුසු විදිහට නැත්නම් සිල් රැකගන්න විකාල භෝජන ශික්ෂාපදය විශේෂයෙන්ම රැකගන්න පුළුවන් විදිහට හුරුකිරීම් කරනවා. අනතුරුව ඒ දරුවා ඉතා කැමැත්තෙන් ඉන්නවා පැවිදි වෙන්න.” ලෙසිනි.



මේ සම්බන්ධයෙන් විවිධ විවේචනාත්මක අදහස් සමාජ මාධ්‍ය තුළ පළ විය.

එක් අදහසක් මෙසේය.
“ගොන් හරක්... මුන්ට බුදු බණ මතක් වෙන්නේ චිල්ල මලේ දාලා දරුවෝ හැදුවට පස්සේ ... අර දරුවගේ අසරණකම නොතේරෙන මෝඩ මෝංගල් මිනිස්සුන් යන්නේ කොහෙද මල්ලේ පපඩම් කතා මේකේ comments මට නම් තේරෙන්නේ. ඔලුවක් තියෙන එකෙක්ට සහකම්පනයක් තිබුනා නම් මේවා දැකලා "තෙරුවන් සරණයි" පතන්නේ නෑ.  
👉මෙ සක්කිලි වැඩේට විරුද්ධව නැගී සිටිය යුතුයි. මහ එවුන් නිවී සැනසී යන මගුලක ගියදෙන්. මොකද හදිසි අනතුරකින් දෙමාපියන් හදිසියේ අහිමි වෙලා නම් දරාගන්න තිබුනා. මේක අමානුෂික ලෙස අමු අමුවේ සිදු වෙන බරපතළ ඛේදවාචකයක්.  අර අහිංසක අසරණ දරුවට කරන අසාධාරණය පිළිකුලෙන් හෙලා දකිනවා. 🤮🤮🤮“

තවත් අදහසක් මෙසේය.

ගොඩක් අය එක එක හැලී ලියලා තිබ්බේ.🙄😏💔 ඒ දරුවා තනි උනා කියමු .🙄
ඒත් ධර්මතාවය නම් කිසිම කෙනෙකුට තව කෙනෙක් තනි කරන්න බෑ. ඒ දෙමාපියන් ගෙන් දරුවෙකුට හිරි හැර වෙනවා කියමු.ඒ අත දරුවා කලින් කරපු කියපු දේවල් තමා විපාක වශයෙන් පරිසරේ හැදුනම මතු වෙලා එන්නේ .😏💔.එකට අම්මා තාත්තා සීයට සියයක් වග කියන්න ඕනි නෑ.😏 .ඒ හැදෙන පරිසරය ඇතුලේ දරුවන්ට වෙන්න ඕනි යුතු කම් ටික කරන ඒක විතරයි කරන්න පුළුවන්.එහෙම බැරි උනා කියල අම්මා තාත්තා ට දොස් කියන්න බෑ 🙄 එක ඒ දරුවෝ කලින් කරපු කියපුවා තමා .ඒ නිසා දේම පියටවත් දරුවන්ට වත් බැන්න කියලා වැඩක් නෑ. පිං තියෙනම් කොහොම හරි හොඳ පරිසරයක වැටුනොත් හොදට හැදෙයි නැත්තම් නරකට හැදෙයි..එක ලොකු ප්‍රොෙසස් එකක් 🙃👌

මේ අතර වෛද්‍ය විද්‍යාත්මකව අදහස් දක්වමින් කුඩා දරුවෙකුට ‘විකාල භෝජන‘ හුරු කිරීම එම දරුවාගේ වැඩීමේ ක්‍රියාවලියට බාධාවක් වන අයුරු පෙන්වාදී ඇත. දරුවා කැමැත්තෙන් සංඝ ශාසනයට ප්‍රමාදවී ඇතුළත්වන බවටත් විකාල භෝජන හුරු කරන බවටත් ලොකු හාමුදුරුවන් වහන්සේ දක්වා තිබූ අදහස පදනම් කරගෙන එම විවේචනය එල්ල විය. මෙහිදී දරුවාගේ කැමැත්ත ඇත්තටම ලැබුනාද නැතිනම් දරුවා  වෙන කරන්න දෙයක්නැතිවීම නිසා මව්පියන්ගේ අඩිපාරේ යනවාද යන්නද අවිනිශ්චිත බව ඇතැමුන්ගේ අදහස වී තිබේ.

 මෙහිණි ආරාමයක් බවට පරිවර්තනය කර ගෝසිංග වනයේ "යශෝධරා මෙහෙණි අරණ" පිහිටුවීමට මෙහිදී වැඩිම දායකත්වය දක්වන්නේ


ගෝසිංග වන අරණේ ලොකු ස්වාමින්සේ ගේ නැගණිය වන ගෝසිංග වනයේ යශෝධරා නමින් එම නමින් පැවිදිවූ 33 හැවිරිදි වත්සලා දුෂ්මන්තී අබේරත්නයි. දරුවාගේ මව වන ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධි ධාරීනියක , රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ධාරිනියක වන බවත්  වවුනියාව,මාමඩුව අග්‍රබෝධි මහ විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ බවත් කියැවිණි.
පැවිදි දිවියට ඇතුළත්වූ ස්වාමිපුරුෂයා වන රුවන් මදුශංක නානායක්කාර 33 හැවිරිදි කාර්මික ශිල්පියකු බව කියැවිණි. ලොකු හාමුදුරුවන්ගේ මව ධනවතී හේරත් වයස 56 පසුවන්නියකි.
ඒ අතර වයස අවුරුදු 56 සහ 59 වයස් කාණ්ඩවල පසුවන තවත් මව්වරු දෙදෙනකුද එදින සසුන්ගත වූ අතර, එම මව්වරු දෙදෙනාද ගෝසිංග වන අරණෙහි වැඩවසන ස්වාමීන් වහන්සේ දෙනමකගේ මෑණිවරු දෙදෙනෙකි.
පැවිදි දිවියට ඇතුළත් වූ සෙසු අට දෙනා වයස අවුරුදු 48, 44, 32, 31, 30, 29 27, 23 , යන වයස් කාණ්ඩවල පසුවන කුරුණෑගල, මීගලෑව, මාවනැල්ල, මොණරාගල, කොළඹ, අවිස්සාවේල්ල, කන්තලේ, ගල්ගමුව, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම පිරිස ද රැකියාවල නිරත වූවෝ වෙති.